මාස දහඅටේදීත් කුඩා මයිසන් තම මවගේ හඬ අසා නොතිබුණි. පසුව වෛද්‍යවරු ඔහුට ප්‍රථම ශ්‍රවණාධාරය සවි කළ පසු ඔහුගේ මව ලොරීන් ඔහුගෙන් “ඔබට මාව ඇහෙනවාද?” කියා ඇසූ විට දරුවාගේ ඇස් ඉහළට එසවුනි. “හායි බබා” ලොරීන් තවදුරටත් පැවසීය. සිනාසෙන මයිසන් සිය මවට මෘදු හඬකින් ප්‍රතිචාර දැක්වීය. තමා හාස්කමක් දකින බව ලොරීන් කඳුළෙන් යුතුව දැන ගත්තාය. අහඹු ලෙස සිදුවූ නිවාස ආක්‍රමණයකදී තුවක්කු කරුවන් විසින් ඇයට තුන් වරක් වෙඩි තැබීමෙන් පසු ඇය නොමේරූ දරුවෙක් වන මයිසන් බිහි කළාය. රාත්තලක් පමණක් බරවූ මයිසන් දින 158 ක් දැඩි සත්කාර ඒකකයේ ගත කළ අතර කන් ඇසීම කෙසේ වෙතත් ඔහු ජීවත් වනු ඇතැයි කියාද බලාපොරොත්තුවක් නොවීය.

හද උණුසුම් කරවන එම කතාව අපට සවන් දෙන දෙවියන්වහන්සේව මට සිහිපත් කරයි. සාලමොන් රජු විශේෂයෙන් කරදරකාරී කාලවලදී දෙවියන්වහන්සේගේ නිරතුරු අවධානය සඳහා දැඩි ලෙස යාච්ඤා කළේය. එනම් : “වර්ෂාව නැතිව යන විට” (1 රාජාවලිය 8:35), “දේශයෙහි සාගතයක් පැමිණෙන සහ වසංගතයක් පැමිණෙන” අතරතුරද පීඩා හෝ රෝග (37 පදය) වලදීද, යුද්ධයේදීද (44 පදය) පාපයේදී පවා “ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා” යනුවෙන් යාච්ඤා කර “ඔවුන්ට යුක්තිය කළ මැනව” (45 පදය) කියා සාලමොන් කීවේය.

දෙවියන්වහන්සේ ස්වකීය යහපත්කමින් අපගේ හදවත් තවමත් කළඹන පොරොන්දුවකින් ප්‍රතිචාර දැක්වූ සේක : “මාගේ නාමය දරණ මාගේ සෙනග යටත්වී යාච්ඤා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි” (2 ලේකම් 7:14). ස්වර්ගය බොහෝ ඈත යයි සිතෙනු ඇත. එසේ වූවත් යේසුස්වහන්සේව විශ්වාස කරන අය සමග උන්වහන්සේ සිටින සේක. දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවන්ට සවන් දෙන සේක. උන්වහන්සේ ඒවාට පිළිතුරු දෙන සේක.