මගේ බාලයා වූ සේවියර් බාලාංශයට ඇතුළු වූ විට මම මගේ පුත්‍රයන්ට බයිබලය කියවීමට පටන් ගත්තෙමි. මම ඉගැන්විය හැකි අවස්ථා තෝරා ගෙන අපගේ තත්ත්වයට අදාළ වන පද තෝරා ගෙන යාච්ඤා කිරීමට ඔවුන්ව දිරිගැන් වූයෙමි. සේවියර් ඉතා පහසුවෙන් දේව වචනය කටපාඩම් කර ගත්තේය. අපට ප්‍රඥාව අවශ්‍ය අසීරු තත්ත්වයන්ට අප පත්වූ විට දෙවියන්වහන්සේගේ සත්‍යයේ ආලෝකය බබළවන පද ඔහු කියන්නේය.

දිනක් මම කෝපයට පත්වී ඔහුගේ කණට නුදුරින් තදින් කථා කළෙමි. මගේ පුතා මාව වැළඳ ගෙන “අම්මා, ඔබ දේශනා කරන දේ ක්‍රියාවට නංවන්න” කියා කීවේය.

විවිධ රටවල විසිර සිටින යේසුස්වහන්සේ තුළ යුදෙව් ඇදහිලිවතුන් ඇමතූ යාකොබ්ගේ ඥානවන්ත අවවාදය සේවියර්ගේ මෘදු මතක් කිරීම තුළ දෝංකාර දුන්නේය. (යාකොබ් 1:1). ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වන අපගේ සාක්‍ෂියට, පාපයට බලපෑ හැකි විවිධ අවස්ථා ඉස්මතු කරමින් යාකොබ් ඔවුන් තුළ “පිහිටුවන ලද වචනය මෘදු කමින් පිළිගන්නා” ලෙසට ඔවුන්ව දිරිමත් කරන්නේය (21 පදය). දේව වචනයට සවන් දී එයට කීකරු නොවන ජනතාව කැඩපත දෙස බලා අපගේ පෙනුම අමතක කරන අය හා සමාන වන්නේය (23-24 පද). එසේ වුවහොත් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළින් දෙවියන්වහන්සේ සමග නිවැරදි වූ උන්වහන්සේගේ ප්‍රතිරූපය දරන්නන් ලෙස අපට ලබා දී ඇති වරප්‍රසාදය අපේ ඇස් වලින් ඈත් විය හැකිය.

යේසුස්වහන්සේ තුළ සිටින ඇදහිලිවන්තයන්ට ශුභාරංචිය බෙදා ගැනීමට අණ කර ඇත. අප වඩාත් හොඳ නියෝජිතයන් වන පිණිස සහ එමගින් ශුභාරංචියේ පණිවුඩකරුවන් වන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේ අපව බලගන්වන අතර අපව වෙනස් කරන සේක. උන්වහන්සේ අපව යවන ඕනෑම තැනක දෙවියන් වහන්සේගේ සත්‍යයේ සහ ප්‍රේමයේ ආලෝකය පිළිඹිබු කිරීමට අපගේ ප්‍රේමණීය කීකරුකම උපකාර වන බැවින් අප දේශනා කරන දේ ක්‍රියාවට නංවමින් අන් අයව යේසුස්වහන්සේ වෙතට යොමු කළ හැකිය.