මම උසාවියේ වාඩිවී සිටියදී අපේ ලෝකයේ බිඳවැටීම් පිළිබඳ උදාහරණ කිහිපයක් දුටුවෙමි. දියණියක් මවගෙන් භේද වී සිටීම, කලින් තිබූ ප්‍රේමය නැතිවී දැන් තිත්තකම පමණක් බෙදා ගන්නා අඹු සැමියන්; තම බිරිඳ සමග එකතු වී දරුවන් සමග නැවත එක්සත් වීමට ආශාවෙන් සිටින ස්වාමිපුරුෂයෙක්. ඔවුන් සියලු දෙනාට වෙනස් වූ හදවත්; තුවාල සඳහා සුවය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැවතීම අතීශයින් අවශ්‍ය වූනි.

සමහර විට අප අවට ලෝකයේ අන්ධකාරය සහ බලාපොරොත්තු සුන්වීම පමණක් පෙනෙන විට කලකිරීමට ඉඩදීම පහසුය. නමුත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් තුළ වාසය කරන ආත්මයාණන් වහන්සේ (යොහන් 14:17) යේසුස්වහන්සේ මිය ගියේ එම බිදීම සහ වේදනාව නිසා බව අපට මතක් කර දෙන සේක. උන්වහන්සේ මනුෂ්‍යයෙක් ලෙසට මෙලොවට ආ කළ උන්වහන්සේ අඳුරට ආලෝකය ගෙන ආ සේක (1:4-5; 8-12). අඳුරේ සැඟවී රහසින් යේසුස්වහන්සේ වෙතට පැමිණි නිකොදේමුස් ආලෝකයේ බලපෑමට ලක්ව පිටත්ව ගිය බව යේසුස්වහන්සේ නිකොදේමුස් සමග කළ සංවාදයෙන් අපට පෙනෙන්නේය (3:1-2; 19:38-40).

යේසුස්වහන්සේ නිකොදේමුස්ට ඉගැන්වූයේ “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතික පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3:16) කියාය.

යේසුස්වහන්සේ ලෝකයට ආලෝකය සහ ප්‍රේමය ගෙන ආවත් බොහෝ දෙනෙක් තම පාපයේ අඳුරේ අතරමංව සිටිති (19-20 පද). අපි උන්වහන්සේගේ අනුගාමිකයන් නම් අන්ධකාරය දුරු කරන ආලෝකය අප සතුව ඇත. දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රදීපයන් බවට පත් කරන මෙන් කෘතඥතාවයෙන් යුතුව යාච්ඤා කරමු.