එය 1968 අප්‍රේල් මස 3 වෙනිදා සවස වූ අතර ටෙනසිහි මෙමෆිස් හරහා දරුණු ගිගුරුම් සහිත වැස්සක් ඇද හැලෙමින් තිබුණී. වෙහෙසට සහ අසනීපයට පත් පූජ්‍ය ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) දේවස්ථාන ශාලාවක වැඩ වර්ජනයේ යෙදී සිටින සනීපාරක්‍ෂක සේවකයින්ට සහාය දැක්වීම සඳහා සැළසුම් කරන ලද කථාව කිරීමට අදහස් කළේ නැත. නමුත් හදිසි දූරකථන ඇමතුමකින් ඔහු පුදුමයට පත් වූයේ විශාල පිරිසක් ඔහුට සවන් දීමට කාලගුණය අභිබවා පැමිණ ඇති බව ඇසීමෙනි. ඒ නිසා ඔහු ශාලාවට ගොස් විනාඩි හතළිහක් කථා කරමින් : “මම කන්ද උඩට ගියෙමි” යනුවෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කථාව යයි සමහරු කියන කථාව ඉදිරිපත් කළේය.

පසු දින ඝාතකයාගේ වෙඩි උණ්ඩයකින් කිං මිය ගියත් ඔහුගේ කථාව තවමත් “පොරොන්දු වූ දේශය” පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින පීඩිත ජනතාව තුළ ආශ්වාදයක් ඇති කරයි. ඒ හා සමානව සිත් ඇද ගන්නා සුලු පණිවුඩයක් මගින් යේසුස්වහන්සේගේ මුල් අනුගාමිකයන් දිරිමත් කරනු ලැබීය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නිසා තර්ජනයට මුහුණ පා සිටින යුදෙව් ඇදහිලිවන්තයන් දිරිමත් කිරීම සඳහා ලියන ලද හෙබ්‍රෙව් පොත බලාපොරොත්තු නැති කර නොගැනීමට ඔවුන්ව ආත්මිකව දිරි ගන්වයි. “එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීණ දණ හිස්ද සවි කර ගන්නා” ලෙසට අයදියි (හෙබ්‍රෙව් 12:12). යුදෙව්වන් වශයෙන් එම ආයාචනය මුලින්ම පැමිණියේ යෙසායා අනාගතවක්තෘන්ගෙන් බව ඔවුහු පිළිගනිති (යෙසායා 35:3).

නමුත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අපව කැඳවනු ලබන්නේ “සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාදවූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු” කියාය (හෙබ්‍රෙව් 12:1-2). අප එසේ කරන විට අපි “සිත් වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන්නෙමු” (3 පදය).

ඒකාන්තයෙන්ම මේ ජීවිතයේ නොයෙකුත් ආකාරයේ තද සුළං සහ කුණාටු වලට මුහුණ දීමට අපට සිදුවේ. නමුත් යේසුස්වහන්ස් තුළ හිඳිමින් අපි ජීවිතයේ කුණාටු ජය ගනිමු.