ඔහු මාධ්‍යවේදියෙක් වූයේ කෙසේදැයි ඇසූ විට තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ තම මවගේ කැප කිරීම පිළිබඳ කථාව ඔහු බෙදා ගත්තේය. දිනපතා උමං මාර්ගයේ දුම්රියේ ගමන් කරන විට ඇය ආසන මත තබා තිබුණු පුවත්පත් එකතු කර ගෙන ඒවා ඔහුට දුන්නාය. ඔහු විශේෂයෙන් ක්‍රීඩා ගැන කියවීමට ප්‍රියතාවයක් දැක්වුවද පුවත්පත් මගින් ලෝකය ගැන දැනුමක් ඔහුට ලබා දුන්නේය. මෙම දැනුම අවසානයේ ඔහුගේ මනස පුළුල් පරාසයක උනන්දුවකට මග පෑදුවේය.

ළමයින් ස්වාභාවික කුතුහලයක් සහ ඉගෙනීමට ආශාවක් දක්වන නිසා කුඩා අවදියේදී ඔවුන්ට දේව වචනය හඳුන්වා දීම බොහෝසේ වටින්නේය. දෙවියන්වහන්ගේ ඉතා වටිනා පොරොන්දු සහ බයිබලීය වීරයන්ගේ සිත් ඇද ගන්නා සුලු කථා ගැන ඔවුන් කුතුහලයට පත්වනු ඇත. ඔවුන්ගේ දැනුම ගැඹුරු වන විට පාපයේ ප්‍රතිවිපාක, පසුතැවීමේ අවශ්‍යතාවය සහ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් ලැබෙන ප්‍රීතිය ඔවුන් තේරුම් ගැනීමට පටන් ගනිති. නිදසුනක් වශයෙන් හිතෝපදේශ වල පළමු පරිච්ඡේදය ප්‍රූාඥාවේ ප්‍රයෝජන පිළිබඳ කදිම හැඳින්වීමකි (හිතෝපදේශ 1:1-7). මෙහි දක්නට ලැබෙන ප්‍රඥාවේ කුඩා කැට සැබෑ ජීවිත අවස්ථාවන් තේරුම් ගැනීමේ ආලෝකය බබළවන්නේය.

ඉගෙනීමට ඇති ඇල්ම වර්ධනය කර ගැනීම, විශේෂයෙන් අධ්‍යාත්මික සත්‍යයන් ගැන දැනුම වර්ධනය කර ගැනීම අපගේ ඇදහිල්ල ශක්තිමත් කර ගැනීමට අපට උපකාර වන්නේය. තවද දශක ගණනාවක් ඇදහිල්ලෙන් ගමන් කළ අයට තම ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම දිගටම වර්ධනය කර ගෙන යා හැකිය. හිතෝපදේශ 1:6 හි උපදෙස් දෙන්නේ “ඥානවන්තයා අසා ඉගෙන ගැනීම වැඩි කර ගන්නේය” යනුවෙනි. දෙවියන්වහන්සේගේ මග පෙන්වීම සඳහා අපගේ හදවත් සහ මනස කැමැත්තෙන්ම විවර කරන්නේ නම් උන්වහන්සේ අපට ඉගැන්වීම කිසි විටෙකත් නවත්වන්නේ නැත.