මගේ මිත්‍ර ෆ්ලොස් රාත්‍රියේ අවදිව සිටින විට “මගේ යේසු මම ඔබට ආදරෙයි” යන ගීතිකාවේ පද ගැන සිතුවාය. එම ගීතිකාව ඇගේ “මධ්‍යම රාත්‍රියේ” ගීතය ලෙස ඇය හඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට හේතු රාශියක් මතක තබා ගැනීමට එය උපකාරී වන බැවිනි.

නින්ද ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකි. නමුත් සමහර විට එය අපට අල්ලා ගත නොහැක. සමහර විට අප සමාව ලබා නොගත් පාපයක් ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ මනසට ගෙනෙන හඬ අපට හැඟෙන්න පුළුවන. නැතිනම් අපි අපේ රැකියාව, අපේ සබඳතාවයන්, අපේ මුදල්, අපේ සෞඛ්‍ය හෝ අපේ දරුවන් ගැන කරදර වන්න පටන් ගන්නෙමු. වැඩි කල් නොගොස් ඉතා අධික අඳුරු අනාගතයක් අපගේ සිතේ ක්‍රියාත්මක වීමට පටන් ගනී. අප සිතන්නේ අප ටික වේලාවක් නිදා ගත්තායැයි කියාය. නමුත් අපි ඔරලෝසුව දෙස බලද්දී තමයි අපට වැටහෙන්නේ අප නිදා ගෙන ඇත්තේ විනාඩි කිහිපයක් පමණක් බවයි.

හිතෝපදේශ 3:19-24 හි සාලමොන් රජු යෝජනා කරන්නේ අපි දෙවියන්වහන්සේගේ ප්‍රඥාව, අවබෝධය සහ දැනුම වැළඳ ගත් විට අපට ඉතා සුව නින්දක් ලබා ගත හැකි බවයි. ඇත්ත වශයෙන්ම ඔහු කියා සිටියේ
“එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් ….. නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරි වන්නේය” යනුවෙනි (22 සහ 24 පද).

දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ චරිතය කෙරෙහි සම්පූර්ණයෙන්ම යොමුවූ මනසක් සඳහා සමහර විට “මධ්‍යම රාත්‍රියේ” ගීතයක්, යාච්ඤාවක් හෝ බයිබල් පදයක් හෝ අවශ්‍ය විය හැකිය. පැහැදිළි හෘද සාක්‍ෂියක් සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ ප්‍රේමය ගැන කෘතඥතාවයෙන් පිරුණු හදවතක් අපට මිහිරි නින්දක් ගෙන දෙනවා ඇත.