ඓතිහාසික දේ පසුපස යන මිෂනාරිවරුන් ගැන සිතන විට ජෝර්ජ් ලීල්ගේ නම (1750-1820) මතකයට එන්නේ නැත. සමහර විට එසේ විය යුතුය. වහල්භාවයේ ඉපිද ලීල් ජෝර්ජියාවේදී ක්‍රිස්තුස්වහන්සේව දැන ගෙන ඔහු නිදහස ලබා ගත්තේ ඇමෙරිකානු විප්ලවවාදී යුද්ධයට පෙරයි. යේසුස්වහන්සේගේ පණිවුඩය ජැමෙයිකාවට ගෙන ගිය ඔහු එහි වතුවල වහලුන්ට සේවය කරමින් ජෝර්ජියාවේ සැවානා හි පිහිටි “අප්‍රිකානු-ඇමෙරිකානු” සභා දෙකක  ආරම්භක සභා පාලකයා ලෙසද සේවය කළේය. එයින් එකක් “කළු බැප්ටිස්ට්වරුන්ගේ මව් දේවස්ථානය” ලෙස සැළකේ.

ලීල්ගේ කැපී පෙනෙන දේව රාජ්‍ය ජීවිත සේවය සමහර අයට අමතක විය හැකි නමුත් ඔහුගේ ආත්මික සේවය දෙවියන්වහන්සේට කිසි දිනෙක අමතක නොවනු ඇත. දෙවියන්වහන්සේ වෙනුවෙන් ඔබ කරන කාර්යයන්ද එසේමය. හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ මෙම වචන අපව දිරිමත් කරන්නේය : “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයනට කළාවූ කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත” (6:10). දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම කිසි විටෙකත් අවතක්සේරු කළ නොහැකිය. මක්නිසාදයත් උන්වහන්සේගේ නාමයෙන් කළ සෑම දෙයක්ම උන්වහන්සේ සැබවින් දන්නා අතර ඒවා මතක තබා ගන්නා සේක. ඒ නිසා හෙබ්‍රෙව් ලිපිය අපව මෙසේ දිරිමත් කරන්නේය : “ඒ වනාහි නුඹලා …. ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොට ගෙන පොරොන්දු උරුමකර ගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වන පිණිසය” (12 පදය).

අපි අපේ දේවස්ථානයේ හෝ ප්‍රජාවේ හෝ තිරය පිටුපස සේවය කරන්නේ නම් අපගේ ශ්‍රමය අගය නොකරනවාය යන හැඟීමක් ඇති වීම පහසුය. අප අවට සිටින මිනිසුන් විසින් අපගේ කාර්යයන් පිළිගත්තත් නැතත් ත්‍යාග ලබා දුන්නත් නැතත් දෙවියන්වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ කිසි දිනෙක අපව අමතක නොකරන සේක.