1964 වසරේ එක් සන්ධ්‍යාවක මහා ඇලස්කා භූමිකම්පාව විනාඩි හතරකට වැඩි කාලයක් චලනය සහ ඇඹරීම ඇති කළ අතර එය රෙක්ටර් මාපකයේ අංශක 9.2 ක් සටහන් කළේය. ඇන්කරේජ් නගරයේ විශාල කොටසක් විනාශ වී දැවන්ත වළවල් කිහිපයක් සහ සුන්බුන් පමණක් ඉතිරි වුනි. අඳුරු බිහිසුණු රාත්‍රියෙහි ප්‍රවෘත්ති වාර්තා කාරිනී ජෙනී චාන්ස් ඇගේ මයික්‍රෆෝනය අසළ සිට ගෙන තම ගුවන් විදුලි යන්ත්‍ර අසළ වාඩිවී සිටින වික්‍ෂිප්ත ජනතාවට පණිවුඩ යවමින් සිටියාය. පඳුරේ වැඩ කරන සැමියෙකුට තම බිරිඳ ජීවතුන් අතර සිටින බව ආරංචි විය. බාලදක්‍ෂ කඳවුරක සංචාරයක යෙදී සිටි තම පුතුන් හොඳින් බව කලබල වූ පවුල්වලට ආරංචි වුනි. තම දරුවන් සොයා ගෙන ඇති බව යුවළකට ආරංචි විය. ගුවන් විදුලිය මෙවැනි ශුභාරංචි දිගින් දිගටම ප්‍රචාරය කළේය. විනාශය මධ්‍යයේ නිර්මල ප්‍රීතියක්.

යෙසායා අනාගතවක්තෘගේ මෙම වදන් ඇසූ විට ඊශ්‍රායෙල්වරුන්ටද මෙවැනි හැඟීමක් ඇති වෙන්න ඇති :
“දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමින්වහන්සේ මා ආලේප කළ සේක” (61:1). ඔවුන්ගේ විනාශ වූ ජීවිත සහ අඳුරු අනාගතයේ මුඩුබිම් දෙස ඔවුන් බලද්දී සෑම දෙයක්ම නැතිවී ඇතැයි සිතෙන මොහොතක යෙසායාගේ පැහැදිළි හඬින් ශුභාරංචියක් ගෙන ආවේය. “බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද වහලුන්ට නිදහස ප්‍රකාශ කරන්ටද ….. පරණ නටබුන් ඉඩම් ගොඩ නගන්ටත් ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරි ගස්සන්ටත්” (1 සහ 4 පද) දෙවියන්වහන්සේ අදහස් කළ සේක. ඔවුන්ගේ භීතිය මධ්‍යයේ ජනතාවට දෙවියන්වහන්සේගේ සහතික පොරොන්දුව එනම් උන්වහන්සේගේ ශුභාරංචිය ඇසුණි.

දෙවියන්වහන්සේගේ සුභ ආරංචිය අද අපට ඇසෙන්නේ යේසුස්වහන්සේ තුළින්ය. “ශුභාරංචිය” යන වචනයෙහි තේරුම මෙයයි. අපගේ බිය, වේදනා සහ අසාර්ථකත්වය තුළට උන්වහන්සේ සුභ ආරංචිය ගෙන දෙන සේක. මෙය හේතු කොට ගෙන අපගේ දුක සතුටට මග පාදන්නේය.