අභිලාෂක ලේඛකයෙක් වූ ලැංස්ටන් හියුස් 1925 දී හෝටලයක සාමාන්‍ය සේවකයෙක් ලෙස සේවයේ නිරතව සිටින අතරතුරදී ඔහු අගය කළ කවියෙක් වූ වැචෙල් ලින්ඞ්සේ එම හෝටලයේ සංචාරකයෙක් මෙන් නැවතී සිටින බව සොයා ගත්තේය. හියුස් ලැජ්ජාවෙන් තමන් විසින් ලියන ලද කවි කිහිපයක් දොර යටින් සෙමෙන් යැව්වේය. පසුව ලින්ඞ්සේ මෙම කවි ගැන ප්‍රසිද්ධ රැස්වීමකදී උද්යෝගයෙන් ප්‍රශංසා කළේය. ලින්ඞ්සේගේ දිරි ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස හියුස්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයක් හිමිවූ අතර ඔහුගේම සාර්ථක ලේඛන දිවිය කරා ඔහුව ඉදිරියට ගෙන ගියේය.

විශේෂයෙන් දෙවියන්වහන්සේ එහි සිටින විට කුඩා දිරිගැන්වීමක් පවා බොහෝ දුර යා හැකිය. දාවිත් “ඔහුගේ ජීවිතය නැති කිරීමට” උත්සාහ කරමින් සිටි සාවුල් රජුගෙන් පලා යමින් සිටි සිද්ධියක් දේව වචනයේ සඳහන් වන්නේය. “එවිට සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් නැගිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස් දෙවියන් වහන්සේ කෙරෙහි ඔහුගේ අත බලවත් කරමින් ඔහුට කථා කොට : භය නොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසු නොවන්නෙහිය. නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වන්නෙහිය” (1 සාමුවෙල් 23:15-17) යනුවෙන් කීවේය.

යොනාතාන් නිවැරදිය. දාවිත් රජ වනු ඇත. යොනාතාන් ඉදිරිපත් කළ ඵලදායී දිරිගැන්වීමේ යතුර “දෙවියන් වහන්සේ කෙරෙහි” (16 පදය) යන සරල වාක්‍ය ඛණ්ඩයේ දක්නට ලැබේ. යේසුස්වහන්සේ තුළින් දෙවියන් වහන්සේ සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත්” ලබා දෙන සේක (2 තෙසලෝනික 2:16). අපි උන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වන විට අන් කිසිවෙකුට කළ නොහැකි ලෙස උන්වහන්සේ අපව ඔසවන සේක.

අප වටා සිටින්නේ දෙවියන්වහන්සේ දෙන දිරිගැන්වීම අවශ්‍ය මිනිසුන්ය. යොනාතාන් දාවිත්ව සෙවුවාක් මෙන් අපි ඔවුන්ව සොයා කාරුණික වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ ඔවුන්ට මෘදු ලෙස දෙවියන්වහන්සේව පෙන්වා දුනහොත් උන්වහන්සේ ඉතිරිය කරනවා ඇත. මේ ජීවිතයේ කුමක් වූවත් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට සදාකාලික දීප්තිමත් අනාගතයක් තිබේ.