බලා සිටීම අපගේ සමාදානය සොරකම් කිරීමේ වරදකරු විය හැකිය. පරිගණක විද්‍යාඥ රමේෂ් සීතාරමන්ට අනුව මන්දගාමී වෙබ් බවුසරයක් පූරණය වන තෙක් බලා සිටීම වැනි දේවල් කිහිපයක් අන්තර්ජාල භාවිතා කරන්නන් තුළ “විශ්වීය කලකිරීමක් සහ කෝපයක්” ඇති කරයි. ඔහුගේ පර්යේෂණයෙන් කියැවෙන්නේ අපි අන්තර්ජාලයේ වීඩියෝවක් පූරණය වන තෙක් සාමාන්‍යයෙන් තත්පර දෙකක් බලා සිටීමට කැමැත්තෙන් සිටින බවයි. තත්පර පහකට පසුව අත්හැරීමේ අනුපාතය සියයට විසිපහක් පමණ වන අතර තත්පර දහයකට පසු මෙහි යෙදී සිටින අයගෙන් භාගයක් පමණ තම උත්සාහය අත්හැර දමති. අපි නිසැකවම නොඉවසිලිමත් පිරිසක් වන්නෙමු.

යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින විට උන්වහන්සේව අත් නොහරින ලෙස යාකොබ් උන්වහන්සේගේ ඇදහිලිවන්තයන් දිරිමත් කළේය. යේසුස්වහන්සේගේ නැවත පැමිණීම ඔවුන්ගේ දුක් වේදනා හමුවේ ස්ථීරව සිටීමටත් එකිනෙකාට ප්‍රේම කිරීමටත් ගෞරව කිරීමටත් ඔවුන්ව පොළඹවනු ඇත (යාකොබ් 5:7-10). යාකොබ් තම අදහස ඉදිරිපත් කිරීමට ගොවියාගේ ආදර්ශය භාවිතා කළේය. “ප්‍රථම සහ අවසාන වර්ෂාව පැමිණෙන තෙක්” (7 පදය) සහ භූමිය එහි වටිනා අස්වැන්න ලබා දෙන තෙක් පීඩා යටතේ ඉවසිලිවන්තව සිටින ලෙසට යාකොබ් ඇදහිලිවන්තයන් දිරිමත් කළේය. උන්වහන්සේ ආපසු පැමිණී විට සෑම වරදක්ම නිවැරදි කර ෂාලොම් එනම් සමාදානය ගෙන එන සේක.

සමහර අවස්ථාවලදී යේසුස්වහන්සේ එන තුරු බලා සිටින අතරතුර උන්වහන්සේව අත්හැරීමට අපට පරීක්‍ෂාවක් ඇති විය හැකිය. නමුත් බලා සිටින කාලය තුළදී අපි “සෝදිසියෙන් සිටිමු” (මතෙව් 24:42). විශ්වාසවන්තව සිටිමු (මතෙව් 25:14-30). උන්වහන්සේගේ චරිතය සහ මාර්ග අනුව ජීවත් වෙමු (කොලොස්සි 3:12). යේසුස්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාදැයි අපි නොදනිතත් උන්වහන්සේගේ පැමිණීමට කොපමණ කාලයක් ගත වූවත් අපි ඉවසිල්ලෙන් බලා සිටිමු.