මිෂෙල් ග්‍රාන්ට් විසින් ටිම්බර් නම් වූ ජලාශ්‍රිත ලොමින් වැසුණු මුගටියෙක් වැනි බීවර් පැටියෙකුට නැවත වනයට යාමට පුහුණු කරන ලදී. ඌව පොකුණක පිහිනීමට ගෙන ගිය විට ඌ නැවත ඇගේ සැහැල්ලු ඔරුව වෙත පැමිණෙන්නේ ඇයට තුරුල්ව නාසයට නාසය ඇතිල්ලීමටය. එක් උදෑසනක ටිම්බර් නැවත පැමිණියේ නැත. අත හැරීමට පෙර මිෂෙල් පැය හයක් පොකුණ ඉතා හොඳින් සෝදිසි කළාය. සති කිහිපයකට පසු ඇය බීවර් හිස් කබලක් සොයා ගත්තාය. එය ටිම්බර්ගේ යැයි උපකල්පනය කළ ඇය හඬන්න පටන් ගත්තාය.

මගේ ආත්මය මිෂෙල් සහ ටිම්බර් ගැන ශෝක විය. මම මටම කියා ගත්තේ “මෙයින් එළියට එන්න. මොහු විශාල ජලජ මීයෙක් පමණයි” යනුවෙනි. නමුත් සත්‍යය නම් මම ඒ ගැන සැළකුවෙමි. දෙවියන්වහන්සේද එසේමය. උන්වහන්සේගේ ප්‍රේමය අහස දක්වාත් මැවිල්ලේ කොටසක් ලෙස අපට වගකීමෙන් බලා ගන්න උන්වහන්සේ අපව කැඳවා ඇති පහළම සිටින කුඩා සත්ත්වයා දක්වාත් විහිදේ (උත්පත්ති 1:28). උන්වහන්සේ
“මනුෂ්‍යයාද මෘගයාද” ආරක්‍ෂා කරන සේක. උන්වහන්සේ “ගවයන්ට සහ කපුටු පැටවුන්ට කෑම දෙන සේක” (ගීතාවලිය 147:9).

දිනක් මිෂෙල් අසල්වැසියෙක්ගේ පොකුණක ඔරුව පදිමින් සිටි අතර පුදුමයකට මෙන් එම පොකෙුණේ ටිම්බර් සිටියේය. ඌට තව බීවර් පවුලක් හමුවී තිබූ අතර ඔවුන්ගේ බීවර් පැටවුන් දෙදෙනෙක් ඇති කිරීමට උදව් කරමින් සිටියේය. ඌ මිෂෙල්ගේ ඔරුව අසළ මතු වූයේය. “ඔබ හොඳින් සිටිනවා. ඔබට දැන් ලස්සන පවුලක් සිටිනවා” කියා ඇය සිනහසෙමින් ටිම්බර්ට කීවාය. ඌ ප්‍රීතියෙන් වලිගය ගසා උගේ අලුත් අම්මා වෙත පිහිනා ගියේය.

මම සතුටුදායක අවසානයන්ට කැමැත්තෙමි-විශේෂයෙන් මගේම! යේසුස්වහන්සේ පොරොන්දු වූයේ උන්වහන්සේගේ පියාණන් වහන්සේ කුරුල්ලන්ව පෝෂණය කරන ආකාරයටම අපට අවශ්‍ය සෑම දෙයෙක්ම සපයන බවයි (මතෙව් 6:25-26). එක ගේ කුරුල්ලෙක්වත් “නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත …. එබැවින් භය නොවන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය” (මතෙව් 10:29-31) කියා උන්වහන්සේ කී සේක.