ඉන්දියාවේ “ඕටිසම්” නොහොත් හුදකලාව සිටින්න රුචියක් දක්වන මානසිකත්වය ඇති දරුවන් සඳහා වූ පාසැලකට සංස්ථාවකින් විශාල පරිත්‍යාගයක් ලැබුණි. එම පරිත්‍යාගයන් සමග බලපෑම් තිබේදැයි පරීක්‍ෂා කිරීමෙන් පසුව මුදල් භාර ගනු ලැබූහ. නමුත් පසුව එම සංස්ථාව පාසැල් මණ්ඩලයේ නියෝජනයක් ඉල්ලා සිටියේය. පාසැල් අධ්‍යක්‍ෂකවරිය එම මුදල් ආපසු යැවුවාය. පාසැලේ අගයන්ට හානි වීමට ඉඩ දීම ඇය ප්‍රතික්‍ෂේප කළාය. “දෙවියන්වහන්සේගේ වැඩ දෙවියන්වහන්සේගේ ක්‍රමයට කිරීම වඩා වැදගත්ය” කියා ඇය පැවසුවාය.

උපකාර ප්‍රතික්‍ෂේප කිරීමට බොහෝ හේතූන් ඇත. මෙය ඒවායින් එකකි. බයිබලයේ අපි තවත් දෙයක් දකින්නෙමු. පිටුවහල් කරන ලද යුදෙව්වන් යෙරුසලමට ආපසු පැමිණි විට දේව මාළිගාව නැවත ගොඩනගන ලෙස සයිරස් රජු ඔවුන්ට නියෝග කළේය (එස්රා 3). ඔවුන්ගේ අසල්වැසියන් “නුඹලා හා සමග මාළිගාව ගොඩනගන්ට අපට ඉඩ දෙන්න. මක්නිසාද නුඹලා සේම අපිත් නුඹලාගේ දෙවියන්වහන්සේ අදහමුව” (4:2) යයි කීහ. ඊශ්‍රායෙල් නායකවරුන් එය ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන්ගේ නිගමනය වූයේ උපකාර පිරිනැමීම පිළිගැනීමෙන් දේව මාළිගාව නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතියේ අඛණ්ඩතාවය සම්මූතියකට පත් විය හැකි බවත් ඔවුන්ගේ අසල්වැසියන් පිළිමවලට නමස්කාර කරන බැවින් රූප වන්දනාව ඔවුන්ගේ ප්‍රජාව තුළට රිංගා ගත හැකි බවත්ය. ඊශ්‍රායෙල්වරුන් නිවැරදි තීරණයක් ගත් අතර ඔවුන්ගේ “අසල්වැසියන්” ගොඩනැගිල්ල සෑදීමේ ව්‍යාපෘතිය අධෛර්යයමත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කළෝය.

ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් සහ යේසුස්වහන්සේ තුළ ප්‍රඥාවන්ත ඇදහිලිවන්තයෙන්ගේ උපදෙස් වලින් අපට අපගේ වැටහීම වර්ධනය කර ගත හැකිය. අපට නොපෙනෙන අධ්‍යාත්මික අන්තරායයන් සැඟවී තිබිය හැකි මිත්‍රශීලි දීමනාවන්ට එපා යයි කීමට අපට විශ්වාසයක් තිබිය යුතු වන්නේය. මක්නිසාදයත් දෙවියන් වහන්සේගේ ක්‍රමයට කෙරෙන උන්වහන්සේගේ කාර්යයන්ට කිසිවිටෙකත් උන්වහන්සේගේ ප්‍රතිපාදයන් හිඟ නොවන හෙයිනි.