අපේ පවුලේ අය බලු පැටියෙකු ලබා ගැනීමට සැළසුම් කරමින් සිටි නිසා මගේ එකොළොස් හැවිරිදි දියණිය මාස ගණනක් ඒ ගැන පර්යේෂණ කළාය. තවත් බොහෝ විස්තර සමග බල්ලා ආහාරයට ගත යුතු දේ සහ ඌව අපගේ නව නිවසට හඳුන්වා දෙන්නේ කෙසේද කියා ඇය දැන සිටියාය.

බලු පැටවුන්ට එක් වරකට එක් කාමරයක් හඳුන්වා දීම වඩාත් සුදුසු වන්නේය කියා ඇය මට කීවාය. එම නිසා අපි පරෙස්සමෙන් අමතර නිදන කාමරයක් සූදානම් කළෙමු. අපි අපේ අලුත් බලු පැටියා ඇති දැඩි කරන විට විශ්මයන් තිබිය හැකි බව මට විශ්වාසයි. නමුත් මගේ දියණියගේ ප්‍රීතිමත් සූුදානම් වීම එයට වඩා පරිපූර්ණ විය හැකිය.

මගේ දියණිය බලු පැටියෙකු සඳහා වූ ඇගේ දැඩි අපේක්‍ෂාව ආදරණීය සුදානමකට යොමු කළ ආකාරය මට මතක් කර දුන්නේ තමන්ගේ සෙනග සමග ජීවිතය බෙදා ගැනීමට ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබූ ආශාව සහ ඔවුන් සඳහා නිවසක් සූදානම් කිරීම ගැන උන්වහන්සේගේ පොරොන්දුවය. තමන්වහන්සේගේ පොළොවේ දේව සේවය අවසානයට ආසන්නව තිබෙද්දී තමාව විශ්වාස කරන ලෙස යේසුස්වහන්සේ ගෝලයන්ගෙන් ඉල්ලා සිටි සේක. “දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න. මා කෙරේත් විශ්වාස කරන්න” (යොහන් 14:1). ඉන් පසුව “උන්වහන්සේ සිටින තැන ඔවුන්ද සිටින පිණිස ඔවුන්ට ස්ථානයක් සූදානම් කරන බවට” (3 පදය) පොරොන්දු වූ සේක.

ගෝලයන්ට ඉක්මණින්ම කරදරවලට මුහුණ දෙන්න සිදුවනු ඇත. නමුත් යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් තමන් වෙතට ගෙන ඒමට තමන්වහන්සේ වැඩ කරමින් සිටින බව ඔවුන් දැන ගැනීමටය.

මගේ දියණිය අපේ අලුත් බලු පැටියා වෙනුවෙන් පරිස්සමෙන් සහ ඉතා ඕනෑකමින් සූදානම් වූ ආකාරය මට සතුටක් ගෙන දුන් කරුණක් වුනි. නමුත් උන්වහන්සේ සමග සදාකාල ජීවනය බෙදා ගැනීමට එක් එක් ජනතාව වෙනුවෙන් වූ උන්වහන්සේගේම සවිස්තරාත්මක සූදානම් වීම ගැන අපගේ ගැළවුම්කරුවාණන් කොපමණ වැඩියෙන් ප්‍රීතිවන්න ඇද්දැයි මට සිතා ගත හැකිය (2 පදය).