මාස කිහිපයක් තිස්සේ මම රැකියා ස්ථානයේ දැඩි දේශපාලනය සහ කුතුහලය සමග කටයුතු කළෙමි. මාගේ දෙවන ස්වභාවය කණස්සල්ල වූවත් මම සමාදානයෙන් සිටීම ගැන පුදුමයට පත් වීමි. කණස්සල්ලක් දැනෙනවා වෙනුවට සන්සුන් මනසකින් සහ හදවතකින් ප්‍රතිචාර දැක්වීමට මට හැකි වුනි. මෙම සමාදානය ලැබිය හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණක්ම බව මම දැන සිටියෙමි.

ඊට පටහැනිව මගේ ජීවිතයේ සෑම දෙයක්ම හොඳින් සිදු වූ තවත් පරිච්ඡේදයක් තිබුණි. එහෙත් මගේ හදවතේ ගැඹුරු නොසන්සුන්තාවයක් මට දැණුනි. ඒ මම දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ මග පෙන්වීම විශ්වාස කරනවා වෙනුවට මගේම හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබූ නිසා බව මම දැන සිටියෙමි. ආපසු හැරී බලන කල සැබෑ සමාදානය එනම් දෙවියන්වහන්සේගේ සමාදානය අපට ලබා ගත හැක්කේ අපගේ වතාතාවරණය අනුව නොව උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය මත බව මම තේරුම් ගතිමි.

දෙවියන්වහන්සේගේ සමාදානය අප වෙත පැමිණෙන්නේ අපගේ මනස ස්ථිරව පවතින විටය (යෙසායා 26:3). හෙබ්‍රෙව් භාෂාවෙන් “ස්ථිර” යන වචනයේ තේරුම “හේත්තු වීම” යන්නයි. අපි උන්වහන්සේ මත රඳා සිටින විට (හේත්තු වන විට) උන්වහන්සේගේ සමාදානයේ අභිමුඛය අපට අත්විඳිය හැකිය. අපට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ හැක්කේ උන්වහන්සේ උඩඟු සහ දුෂ්ටයන් යටහත් කර උන්වහන්සේට ප්‍රේම කරන අයගේ මාර්ග සමතලා කරන බව මතක තබා ගැනීමෙනි (5-7 පද).

පහසුවට වඩා දුෂ්කර කාලවලදී මම සමාදානය අත් විඳින විට දෙවියන්වහන්සේගේ සමාදානය ගැටුම් නොමැතිකම නොව, විපතකදී පවා ආරක්‍ෂාව පිළිබඳ ගැඹුරු හැඟීමක් බව මම සොයා ගතිමි. එය මානව අවබෝධය අභිබවා යන සමාදානයක් වන අතර ඉතාමත් දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ පවා අපගේ හදවත් සහ මනස ආරක්‍ෂා කරන්නේය (පිලිප්පි 4:6-7).