ග්‍රාමීය ආමිෂ් සංස්කෘතිය තුළ ධාන්‍යාගාරයක් සාදා ගැනීම සමාජ සිදුවීමකි. තනි ගොවියෙකුට සහ ඔහුගේ පවුලට ධාන්‍යාගාරයක් සෑදීමට මාස කිහිපයක් ගත වනු ඇත. නමුත් ආමිෂ් ප්‍රජාව එකට එය සිදු කරන හෙයින් ඉක්මණින් කර ගනිති. දැව කල් තියා ගබඩා කර ගනිති. මෙවලම් සුදානම්ව තිබේ. නියමිත දිනයේදී මුලු ආමිෂ් ප්‍රජාවම වේලාසනින් නැගිට වැඩ බෙදා ගෙන එකට ධාන්‍යාගාරය ගොඩ නැගිමට එක් වෙති. සමහර විටදී දිනක් තුළ වැඩ අවසන් වෙයි.

මෙය සභාව සඳහා දෙවියන්වහන්සේගේ දර්ශනය සහ එහි අපගේ භූමිකාව පිළිබඳ හොඳ චිත්‍රයකි. බයිබලය පවසන්නේ “ඔබ සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන අතර ඔබ එක් එක්කෙනා එහි කොටසකි” (1 කොරින්ති 12:27) යනුවෙනි. දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුම විවිධ ආකාරයෙන් සුදානම් කර ඇති අතර “එකට සන්ධි කරනු ලැබූ” ශරීරයක කොටසක් ලෙස අප සෑම කෙනෙකුම අපගේම “විශේෂ කාර්්‍යය” අනුව බෙදා ඇත (එපීස 4:16). ප්‍රජාවක් තුළ “එකිනෙකාගේ බර උසුලන්නට” අපව දිරිමත් කරනු ලැබේ (ගලාති 6:2).

නමුත් බොහෝ විට අපි තනියම යන්නෙමු. අපගේ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය නිසා අපි අපගේ අවශ්‍යතා අප තුළම තබා ගන්නෙමු. එසේත් නැත්නම් වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයේ බරට උර දීමට අත දිගු කිරීමට අප අසමත් වන්නෙමු. නමුත් අපි අන් අය සමග සම්බන්ධ වීමට දෙවියන් වහන්සේ ආශා කරන සේක. අපි අන් අයගෙන් උදව් ඉල්ලන විට සහ අන් අයගේ අවශ්‍යතා සඳහා යාච්ඤා කරන විට මනහර දේවල් සිදුවන බව උන්වහන්සේ දන්නා සේක.

දෙවියන්වහන්සේට අප වෙනුවෙන් ඇති දේ අත් විඳීමට සහ අපගේ ජීවිත වල උන්වහන්සේගේ විස්මිත සැළසුම ඉෂ්ට කළ හැක්කේ එකිනෙකා මත යැපීමෙන් පමණී. මෙය දවසකින් ධාන්‍යාගාරයක් සාදනවා මෙන්ය.