පිරිසිදුකම ප්‍රවර්ධනය කරන වැඩ මුළුවකදී නාඹර වියේ කාන්තාවන් සමග කථා කරන ලෙස මිතුරෙක් මගෙන් ඉල්ලා සිටි විට මම එය ප්‍රතික්‍ෂේප කළෙමි. නාඹර වියේදී පලා ගිය කෙනෙකු වූ මම මගේ දුශ්චරිතය නිසා සිදු වූ කැළැල් වලින් දශක ගණනාවක් පොර බැදුවෙමි. විවාහ වී අපගේ පළමු දරුවා ගබ්සාවකින් නැතිවූ පසුව මම සිතුවේ මගේ පසුගිය පාපවලට දෙවියන්වහන්සේ මට දඬුවම් කරන බවයි. අවසානයේදී මම වයස අවුරුදු තිහේදී මගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට යටත් කළ පසු මගේ පාප පාපෝච්චාරණය කර පසුතැවිලි වූයෙමි… නැවත නැවතත් පසු තැවුණෙමි. එසේ වූවත් වරදකාරී හැඟීම සහ ලැජ්ජාව මාව ගිල ගත්තේය. මා කෙරෙහි ඇති උන්වහන්සේගේ ඉමහත් ආදරයේ ත්‍යාගය සම්පූර්ණයෙන් ලබා ගැනීමට පවා මට නොහැකිව සිටිද්දී මම දෙවියන්වහන්සේගේ කරුණාව ගැන බෙදා ගන්නේ කෙසේද? වාසනාවකට මෙන් කාලයාගේ ඇවෑමෙන් මගේ පාප පාපෝච්චාරණය කිරීමට පෙර මා කවුරුන්ද යන්නට මාව බැඳ දමා තිබූ බොරුව දෙවියන්වහන්සේ අහෝසි කළ සේක. උන්වහන්සේගේ කරුණාවෙන් දෙවියන්වහන්සේ මට මුලු කාලය පුරාම ලබා දුන් සමාව මට අවසානයේ ලැබුණි.

අපගේ දුක් වේදනා සහ අපගේ අතීත පාපවල ප්‍රතිවිපාක ගැන අපගේ විලාපයන් දෙවියන්වහන්සේ තේරුම් ගන්නා සේක. කෙසේ වෙතත්, බලාපොරොත්තු සුන්වීම් ජය ගැනීමටද අපගේ පාප වලින් හැරී උන්වහන්සේගේ “ප්‍රේමය”, “දයානුකම්පාව” සහ “විශ්වාසවන්තකම” තුළ බලාපොරොත්තුවෙන් නැගී සිටීමටද උන්වහන්සේ තම සෙනඟට බලය ලබා දෙන සේක (විලාප ගී 3:19-23). දේව වචනයේ සඳහන් වන්නේ දෙවියන්වහන්සේම අපගේ “පංගුකාරයාණෝ” වන බවයි. අපගේ බලාපොරොත්තුව සහ ගැළවීම මෙන්ම උන්වහන්සේගේ යහපත්කම විශ්වාස කිරීමට අපට ඉගෙන ගත හැකි බවයි (24-26 පද).

අපගේ දයානුකම්පිත පියාණන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීමට අපට උපකාර කරන සේක. අප කෙරෙහි උන්වහන්සේගේ ඉමහත් ප්‍රේමයේ පූර්ණත්වය අපට ලැබුණු විට අපට උන්වහන්සේගේ කරුණාව පිළිබඳ ශුභාරංචිය ප්‍රචාරය කළ හැකිය.