චාර්ල්ස් ස්පර්ජන් යෞවන වියේදී දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. ඔහු කුඩා කල සිටම දේවස්ථානයට යාමට පුරුදුව සිටි නමුත් දේශනාවේ ඇල් මැරුණු ස්වභාවයක් සහ අර්ථ විරහිත භාවයක් දුටුවේය. දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔහුට අරගලයක් වූ අතර චාර්ල්ස් ඔහුගේම වචන වලින් කීවේ තමා “කැරළි ගැසූ” බවයි. එක් රාත්‍රියක දරුණු හිම කුණාටුවක් නිසා දහසය හැවිරිදි ස්පර්ජන්ට කුඩා මෙතෝදිස්ත දේවස්ථානයක ආරක්‍ෂාව සෙවීමට සිදු වුනි. දේවගැතිවරයාගේ දේශනාව පුද්ගලිකව ඔහු වෙත යොමු වූ බවක් පෙනෙන්ට තිබුණි. ඒ මොහොතේදී දෙවියන්වහන්සේ පොර බැදීමේ තරඟයෙන් ජය ගත් අතර චාර්ල්ස් තම හදවත යේසුස්වහන්සේට කැප කළේය.

ස්පර්ජන් පසුව මෙසේ ලීවේය. “මම ක්‍රිස්තුස්වහන්සේ සමග ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර සිට උන්වහන්සේ මා සමග ආරම්භ කර තිබුණි”. ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේ සමග අපගේ ජීවිතය ගැළවීම ලැබූ මොහොතේ සිට ආරම්භ වන්නේ නැත. ගීතාවලිය රචකයා එය සඳහන් කරමින් “දෙවියන් වහන්සේ අපගේ අභ්‍යන්තරය” මැවූ බවත් “අපගේ මවු කුසයෙහි අපව වැසූ බවත්” (ගීතාවලිය 139:13) කීවේය. අපෝස්තලු පාවුල් මෙසේ ලීවේය : “ දෙවියන්වහන්සේ මවු කුස පටන් මා වෙන් කළාවූද තමන්ගේ කරුණාව කරණකොට ගෙන මා කැඳෙවුවාවූද” යනුවෙනි (ගලිති 1:15). අප ගැළවීම ලැබුවායින් පසු දෙවියන් වහන්සේ අප සමග වැඩ කිරීම නතර කරන්නේ නැත. “නුඹලා තුළ යහපත් වැඩක් පටන් ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක” (පිලිප්පි 1:6).

අපි සියල්ලෝම ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ දෑතේ ක්‍රමාණුකූලව වැඩෙමින් සිටින්නෙමු. අපගේ කැරළිකාර සටන් තුළින් උන්වහන්සේගේ උණුසුම් වැළඳ ගැනීම කරා අපව ගෙන යන සේක. නමුත් එය අප සමග උන්වහන්සේගේ අරමුණේ ආරම්භය පමණි. “මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා කැමති වෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය” (පිලිප්පි 2:13). සහතිකය වන්නේ අප කොපමණ වයස් ගතව සිටියත් ජීවිතයේ කුමන අවධියක සිටියත් අපි උන්වහන්සේගේ යහපත් ක්‍රියාවන් බවයි.