වාහන නවත්වන ස්ථානයේ දර්ශනය එතරම් ඛේදජනක නොවූයේ නම් එය විහිළුවක් වන්නට තිබුණි. රියැදුරන් දෙදෙනෙක් එක් මෝටර් රථයක් අනෙකාට ගමන් කිරීමට බාධා කරමින් තිබූ හෙයින් හඬ නගා වාද කළ අතර පරුෂ වචන හුවමාරුවක්ද සිදු වුනි.

එය බලා සිටීම විශේෂයෙන් වේදනාකාරී වූයේ මෙම ආරවුල දෙවස්ථානයක වාහන නැවැත්වීමේ ස්ථානයක සිදුවූ නිසාය. මිනිසුන් දෙදෙනා සුළු වේලාවකට පෙර ආදරය, ඉවසීම හෝ සමාව දීම හෝ ගැන දේශනාවක් අසන්නට ඇති නමුත් එම මොහොතේ උණුසුමේදී ඒ සෑම දෙයක්ම ඔවුන්ට අමතක වූයේය.

එය පසුකර යන විට මම හිස වැනුවෙමි. ඒ අතරම මම ඊට වඩා හොඳ නොවන බව ඉක්මණින්ම තේරුම් ගතිමි. මම කොපමණ වතාවක් බයිබලය කියවා ඇත්ද? එහෙත් ඉන් මොහොතකට පසුව අකාරුණික සිතුවිල්ලකින් පාපයට වැටුණේද? “කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කළ තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැති කරයි” (යාකොබ් 1:23-24). එම පුද්ගලයා මෙන් කී වතාවක් මා හැසිර ඇත්ද?

යාකොබ් තම පාඨකයන්ගේ ඉල්ලා සිටින්නේ දෙවියන්වහන්සේගේ උපදෙස් කියවා මෙනෙහි කරන ලෙස පමණක් නොව එය පවසන දේ කිරීමටය (22 පදය). සම්පූර්ණ ඇදහිල්ල යනු දේව වචනය දැන ගැනිම සහ එය ක්‍රියාවට නැංවීම යන දෙකම අදහස් කරන බව ඔහු සඳහන් කළේය.

දේව වචනය පවසන දේ අදාළ කර ගැනීමට ජීවිතයේ තත්ත්වයන් නිසා අපහසු වනු ඇත. නමුත් අපි පියාණන් වහන්සේගෙන් ඇසුවොත් උන්වහන්සේ නිසැකවම අපට උන්වහන්සේගේ වචනවලට කීකරු වීමටත් අපගේ ක්‍රියාවෙන් උන්වහන්සේව සතුටු කිරීමටත් උපකාර කරනු ඇත.