වැඩිකල් නොගොස් අපි අපේ පැරණි නිවසට මදක් දුරින් නව නිවසකට ගියෙමු. නිවෙස් දෙක ආසන්නව තිබියදීත් මූල්‍ය ගනුදෙනුවල වේලාව නිසා අපට අපගේ සියලු බඩු බාහිරාදිය ගමන් කරන ට්‍රක් රථයකට පැටවීමට අවශ්‍ය වුනි. විකිණීම සහ මිළදී ගැනීම අතර අපගේ ගෘහ භාණ්ඩ ට්‍රක් රථයේ තිබුණු අතර අපගේ පවුලේ අයට තාවකාලික නවාතැන් ලැබුණි. එම කාලය තුළ අපගේ කායික නිවසින් පිටත් වීම නොතකා එය
“නිවස” කියා මට හැඟුණේ කෙසේදැයි සොයා ගැනීමෙන් මම පුදුමයට පත් වීමි. ඒ හුදෙක් මා වඩාත් ආදරය කරන අය සමග සිටි නිසාය. ඒ මගේ පවුලයි.

ඔහුගේ ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක දාවිත්ට නිවසක් නොතිබුණි. ඔහු සාවුල් රජුගෙන් පළා යමින් ජීවිතය ගත කළේය. දෙවියන්වහන්සේ විසින් සිංහාසනයට පත් කරන ලද ඊළඟ රජු දාවිත් වූ බැවින් සාවුල්ට දාවිත් තර්ජනයක් ලෙස පෙණුනු අතර ඔහුව මරා දැමීමට සෙවීය. දාවිත් නිවසින් පලා ගොස් නවාතැන් සොයා ගත හැකි ඕනෑම ස්ථානයක නිදා ගත්තේය. ඔහු සමග මිතුරන් සිටියද දාවිත්ගේ දැඩි ආශාව වූයේ
“ස්වාමින්ගේ ගෘහයෙහි වාසය කිරීමය”. උන්වහන්සේ සමග ස්ථිර සහභාගීත්වයක් භුක්ති විඳීමය (ගීතාවලිය 27:4).

යේසුස්වහන්සේ අපගේ නිරන්තර හවුල් කරුවාණන් වන අතර අප කොතැනක සිටියත් උන්වහන්සේ අපගේ “නිවස”ය යන හැඟීම දෙන්නේය. අපගේ වර්තමාන කරදරවලදී උන්වහන්සේ අප සමග සිටින සේක. අපටද උන්වහන්සේ සමග සදහටම ජීවත් වීමට ස්ථානයක් පවා සුදානම් කරන සේක (යොහන් 14:3). මේ පෘථිවියේ පුරවැසියන් ලෙස අපට අවිනිශ්චිතභාවය සහ වෙනස් වීම් අත් විඳීමට සිදුවිය හැකි නමුත් අපට සෑම දිනකම සහ සෑම තැනකම උන්වහන්සේ සමග අපගේ මිත්‍රත්වය තුළ ස්ථිරව වාසය කළ හැකිය.