එදා ඉරිදා දිනකි. අපි දැන් එය හඳුන්වන්නේ ගොක් (තල් අතු) ඉරිදා ලෙසය. යේසුස්වහන්සේ යෙරුසලමට ගිය පළමු අවස්ථාව මෙය නොවන බවට සැකයක් නැත. භක්තිමත් යුදෙව්වෙක් ලෙසට උන්වහන්සේ සෑම වසරකම මහා මංගල්‍යයන් තුන සඳහා නගරයට යන්න ඇති (ලූක් 2:41-42; යොහන් 2:13; 5:1). පසුගිය වසර තුන තුළ ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලමෙහිදී සේවය කළ අතර ඉගැන්වූ සේක. නමුත් මෙම ඉරිදා උන්වහන්සේ නගරයට පැමිණීම සහමුලින්ම වෙනස් වූ සේක.

දහස් ගණන් බැතිමතුන් නගරයට පැමිණෙමින් තිබූ අවස්ථාවක තරුණ කොටළුවෙකු පිට නැගී යෙරුසලමට යාමෙන් යේසුස්වහන්සේ අවධානයට ලක් වූ සේක (මතෙව් 21:9-11). පසුගිය වසර තුන තුළ හිතාමතාම පහත් තත්ත්වයක් තබා ගෙන සිටි උන්වහන්සේ දහස් ගණනක් ජනතාව ඉදිරියේ ප්‍රමුඛස්ථානය ලබා ගත්තේ ඇයි? උන්වහන්සේගේ මරණයට දින පහකට පෙර උන්වහන්සේ රජු බවට ජනතාවගේ ප්‍රකාශය උන්වහන්සේ පිළිගත්තේ ඇයි?

මතෙව් පවසන්නේ මෙය සිදු වූයේ වසර පන්සියයක් පැරණි අනාවැකියක් ඉටු කිරීම පිණිස බවයි (මතෙව් 21:4-5). එනම් දෙවියන්වහන්සේ විසින් තෝරා ගත් රජු “ධර්මිෂ්ඨ සහ ජයග්‍රාහී” වන සේක. එනමුදු යටහත්ව කොටළුවෙකු පිට නැගී එන සේක” (සෙකරියා 9:9; එසේම උත්පත්ති 49:10-11 ද බලන්න).

ජයග්‍රාහී රජෙකුට නගරයකට ඇතුල් වීමට මෙය ඇත්තෙන්ම අසාමාන්‍ය ක්‍රමයක් විය. ජයග්‍රාහී රජවරු සාමාන්‍යයෙන් බලවත් අශ්වයන් පිට නැගී ගියහ. නමුත් යේසුස්වහන්සේ පැමිණියේ යුද්ධ අශ්වයෙක් පිට නැගී නොවේ. යේසුස්වහන්සේ කෙබඳු රජෙක්ද යන්න මෙයින් හෙළි වේ. උන්වහන්සේ පැමිණියේ නිහතමානීව යටහත්වය. යේසුස්වහන්සේ පැමිණියේ යුද්ධය සඳහා නොව සමාදානය සඳහාය. දෙවියන් වහන්සේ සහ අප අතර සමාදානය ඇති කරන පිණිසය (ක්‍රියා 10:36; කොලොස්සි 1:20).