ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ පුස්තකාලයක නැවතී ඇති සාක්කු ඔරලෝසුවේ කටු දෙක ඛේදජනක කථාවක් කියයි. ඔරලෝසුවේ හිමිකරු එලිෂා මිචෙල් 1857 ජූනි 27 වන දින උදෑසන අපලවියන් කඳුකරයේ දිය ඇල්ලකදී ලිස්සා වැටී මිය ගිය නියම මොහොත (එනම් පෙරවරු 8.19 සහ තත්පර 56) එය සටහන් කරයි.

විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන මිචෙල් ඔහු සිටි කන්ද මුදුන පිළිබඳව නිවැරදි ප්‍රකාශය ආරක්‍ෂා කිරීම සඳහා දත්ත රැස් කරමින් සිටියේය. දැන් ඔහුගේ නම දරණ මිචෙල් කන්ද මිසිසිපි ගංගාවේ නැගෙනහිරින් ඇති උසම කන්දයි. ඔහුගේ සොහොන ඔහු වැටුණු ස්ථානයට නුදුරුව කඳු මුදුනේ පිහිටා ඇත.

මම මෑතකදී එම කඳු මුදුනට නැගුණු විට මම මිචෙල්ගේ කතාව සහ මගේම මරණය සහ අප එක එක්කෙනාට ඇත්තේ යම් කාලයක් පමණක් බව මතක් කළෙමි. යේසුස්වහන්සේ ඔලීව කන්දේදී තම ගෝලයන් සමග කථා කරන විට උන්වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳව පැවසූ දේ ගැන මම කල්පනා කළෙමි. “එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක” (මතෙව් 24:44).

යේසුස්වහන්සේ පැහැදිළිව පෙන්වා දෙන්නේ උන්වහන්සේ නැවත පැමිණ උන්වහන්සේගේ රාජ්‍යය සදහටම ස්ථාපිත කරන මොහොත හෝ මෙලොව හැර ගොස් තමන් වෙතට එන ලෙස උන්වහන්සේ අපව කැඳවන්නේ කවදාද යන්න අප කිසිවෙකු නොදන්නා බවයි. නමුත් උන්වහන්සේ අපට පවසන්නේ සුදානම්ව සිටින ලෙස සහ “අවදිව සිටින” ලෙසයි (42 පදය).

ටික්….. ටික්…… අප සෑම කෙනෙකුගේම “ඔරලෝසු” තවමත් චලනය වෙමින් පවතී. නමුත් කොපමණ කාලයකටද? අපගේ දයානුකම්පිත ගැළවුම්කරුවාණන් සමග ආදරයෙන්ද බලා සිටිමින් සහ උන්වහන්සේ වෙනුවෙන් සේවය කරමින් අපගේ මොහොත අපි ගත කරමු.