තම පුත් පිහිනීමට කමිසය ගළවන්න අකමැති බව ඩෙරික් දුටුවේය. එයට හේතුව වූයේ පුතාගේ පපුවේ, බඬේ සහ වම් අතේ කොටසක් වැසෙන ලෙස පිහිටා තිබූ උපන් ලපයක් නිසා ඔහු ලැජ්ජාවී සිටි නිසා බව ඩෙරික් වටහා ගත්තේය. තම පුතාට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් ඩෙරික් තමාගේ ශරීරයේද සමාන සළකුණක් නිර්මාණය කර ගැනීම සඳහා දිගු හා වේදනාකාරී පච්ච කෙටීමේ ක්‍රියාවලියකට ලක් වූයේය.

ඩෙරික් තම පුත්‍රයා කෙරෙහි දක්වන ප්‍රේමයෙන් පිළිබිඹු වන්නේ උන්වහන්සේගේ දූ පුතුන් කෙරෙහි දෙවියන් වහන්සේ දක්වන ප්‍රේමයයි. මන්ද උන්වහන්සේගේ දරුවන් වන අපට “ලේ හා මාංසය” ඇති බැවින් (හෙබ්‍රෙව් 2:14) මරණය කෙරෙහි ඇති බලයෙන් අපව නිදහස් කිරීමටද (14 පදය) අප වෙනුවෙන් දෙවියන්වහන්සේ සමග සියලු දේවල් නිවැරදි කිරීමටද “සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමාන වෙන්ට උන්වහන්සේට යුතු වූයේය” (17 පදය).

ඩෙරික්ට අවශ්‍ය වූයේ තම පුතුට ඔහුගේ ලැජ්ජාශීලි බවෙන් ජය ගැනීමට උපකාර කිරීමටය. එම නිසා ඔහු තම පුතා “මෙන්” වූයේය. අපගේ අතිමහත් ගැටළුව වන මරණයේ වහල් භාවයෙන් ජය ගැනීමට යේසුස් වහන්සේ අපට උපකාර කළ සේක. උන්වහන්සේ අප වෙනුවෙන් එය ජය ගත්තේ අප හා සමාන වීමෙන්ද අපගේ පාප වල විපාක දරමින් අප වෙනුවෙන් මිය යාමෙන්ද වේ.

අපගේ මනුෂ්‍යත්වයට හවුල් වීමට යේසුස්වහන්සේගේ කැමැත්ත දෙවියන්වහන්සේ සමග අපගේ නිවැරදි සම්බන්ධතාවය සුරක්‍ෂිත කළා පමණක් නොව අපගේ අරගල මොහොතේදී උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටද අපට හැකියාව ලබා දුන් සේක. අපි පරීක්‍ෂාවන් සහ අමාරුකම්වලට මුහුණ දෙද්දී ශක්තිය සහ උපකාරය වෙනුවෙන් අපට උන්වහන්සේ කෙරෙහි යැපෙන්න හැකි වන්නේ උන්වහන්සේට “අපට පිහිට වීමේ හැකියාව” (14 පදය) ඇති හෙයිනි. ප්‍රේමණීය පියෙකු මෙන් උන්වහන්සේ තේරම් ගන්නා සේක. සළකන සේක.