මිතුරියක් අපගේ දශකයක මිත්‍රත්වය පැහැදිළි කිරීමකින් තොරව අවසන් කළ පසු මම මිනිසුන්ව අතේ දුරින් තබා ගැනීමේ මගේ පැරණි පුරුද්දට නැවත ලිස්සා ගියෙමි. මගේ ශෝකය අතර තුර මම මගේ රාක්කයෙන් සී. එස්. ලුවිස් විසින් රචිත “ප්‍රේමයන් සතර” නම්වු පොතෙහි පොඩි වූ පිටපතක් ඇද ගත්තෙමි. ලුවිස් අවදානමක් අවශ්‍ය ප්‍රේමය ගැන ප්‍රබල නිරීක්‍ෂණයක් කරයි. පුද්ගලයෙක්ට ප්‍රේම කිරීමේ අවදානමක් ඇති වූ විට “ආරක්‍ෂිත ආයෝජනයක්” නොමැති බව ඔහු පවසයි. ඔහු යෝජනා කරන්නේ “ඕනෑම දෙයකට ප්‍රේම කරන විට එය ඔබේ හදවත අවුල් කර බිඳී යා හැකිය” කියාය. මෙම වචන කියවීමෙන් පසුව පේත්‍රැස් විසින් වරක් නොව තුන් වරක්ම (යොහන් 18:15-27) යේසුස්වහන්සේව පාවා දීම සම්බන්ධ සිදුවීමෙන් පසුව සහ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව (යොහන් 21:1-14) තුන්වන වතාවට උන්වහන්සේ තම ගෝලයන්ට දර්ශනය වූ කතාව වෙනස් ස්වරූපයකින් මම කියවීමට පටන් ගත්තෙමි.

යේසුස්වහන්සේ කථා කොට : “යොහන්ගේ පුත්‍රවූ සිමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාදැයි ඇසූ සේක” (21:15).

පාවාදීම සහ ප්‍රතික්‍ෂේප කිරීම අත් විඳීමෙන් පසු යේසුස්වහන්සේ පේත්‍රැස්ට කථා කළේ බියෙන් නොව ධෛර්්‍යයෙනි. දුර්වලතාවයෙන් නොව ශක්තියෙනි. බලාපොරොත්තු සුන්වීමෙන් නොව පරාර්ථකාමිත්වයෙනි. උන්වහන්සේ ප්‍රේම කිරීමට ඇති කැමැත්ත තහවුරු කිරීමෙන් කෝපය නොව දයාව ප්‍රදර්ශනය කළ සේක.

දේව වචනය පෙන්වා දෙන්නේ යේසුස්වහන්සේ විසින් තුන්වන වරටත් පේත්‍රැස්ගෙන් “ඔබ මට ආදරේද?” කියා ඇසූ නිසා ඔහු දුකට පත්වූ බවයි (17 පදය). නමුත් අන් අයට ප්‍රේම කිරීමෙන් (15-17 පද) සහ යේසුස් වහන්සේව අනුගමනය කිරීමෙන් (19 පදය) තම ප්‍රේමය ඔප්පු කරන ලෙසට යේසුස්වහන්සේ පේත්‍රැස්ගෙන් ඉල්ලා සිටි විට කොන්දේසි විරහිතව අවදානමක් ගනිමින් අන් අයට ප්‍රේම කරන ලෙස උන්වහන්සේ තමන්ගේ සියලුම ගෝලයන්ට ආරාධනා කළ සේක. “ඔබ මට ආදරෙයිද?” කියා යේසුස්වහන්සේ අසන ප්‍රශ්නයට අප සියලු දෙනාටම පිළිතුරු දීමට සිදුවෙයි. අප අන් අයට ප්‍රේම කරන්නේ කෙසේද යන්න අපගේ පිළිතුරෙන් බලපෑමක් ඇති කරයි.