කුඩා දැරියක් නොගැඹුරු දිය පහරක ඇවිදිමින් සිටියේ ඇගේ පියා බලා සිටියදීය. ඇගේ රබර් බූට් යුගලය ඇගේ දණහිස දක්වා විය. ඇය පහළට යන විට ජලය ඇගේ රබර් බූට් මතින් ගලා යන තෙක් ගැඹුරු විය. ඇයට තවත් අඩියක්වත් ගත නොහැකි වූ විට “තාත්තේ මම හිරවෙලා” කියා ඇය කෑ ගැසුවාය. අඩි පාරවල් තුනකින් ඇගේ පියා ඇය ළඟට ගොස් ඇයව තණකොළ ඉවුරට ඇද ගත්තේය. ඇය බූට් දෙක ගළවා බිමට වතුර වත් කරද්දී සිනහසුණාය.

දෙවියන්වහන්සේ ගීතිකාකරු දාවිත්ව ඔහුගේ සතුරන්ගෙන් ගළවා ගත් පසු ඔහු වාඩිවී “තම පාවහන් ගළවා” ගෙන සහනය ඔහුගේ ආත්මයට ගලා යාමට ඉඩ හැරියේය. ඔහු තම හැඟීම් ප්‍රකාශ කිරීමට ගීතයක් ලිවීය.
“ප්‍රශංසනීය වූ ස්වාමින්ට ඇයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගැළවෙන්නෙමි” (2 සාමුවෙල් 22:4). ඔහු දෙවියන්වහන්සේ තම පර්වතය, බලකොටුව, පලිහ හා රක්‍ෂස්ථානය ලෙස ප්‍රශංසා කළේය (2-3 පද). පසුව දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරයට කාව්‍යමය ප්‍රතිචාරයක් දුන්නේය. පොළොව සෙළවී කම්පා විය. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් බැස ආ සේක. උන්වහන්සේ ඉදිරියෙහි විදුලි කෙටීම් ඇති වූයේය. උන්වහන්සේගේ හඬ ගිගුරුම් දුන් අතර ගැඹුරු ජලයෙන් උන්වහන්සේ ඔහුව ඇද ගත් සේක (8, 10, 13-15, 17 පද).

සමහර විට අද දිනදී ඔබ වටා විරෝධයක් තිබෙන බව ඔබට දැනෙනවා ඇති. සමහර විට ඔබට අධ්‍යාත්මිතව ඉදිරියට යා නොහැකි පාපයක සිරවී සිටිනවා විය හැකිය. දෙවියන්වහන්සේ අතීතයේදී ඔබට උපකාර කළ ආකාරය ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කර නැවතත් ඔබට උපකාර කරන ලෙසට ඉල්ලා සිටින්න. ඔබව උන්වහන්සේගේ රාජ්‍යයට ගෙන ඒමෙන් ඔබව ගළවා ගැනීම ගැන විශේෂයෙන් උන්වහන්සේට ස්තූති කරන්න (කොලොස්සි 1:13).