මගේ දුවගේ කුඩා දවස්වල මම නිතරම ඇයට හමුවූ දේවල් සඳහා නම් තැබුවෙමි. මම වස්තූන් හඳුනා ගෙන හෝ ඇයට නුහුරු යමක් ස්පර්ශ කරන්න දීමෙන් හෝ ඇය වෙනුවෙන් වචනය දීමට ඉඩ හැරියේ ඇය ගවේශණය කරමින් සිටින විශාල ලෝකය ගැන අවබෝධය සහ වචන මාලාව ගෙන දෙමිනි. ස්වාභාවිකව ඇගේ පළමු වචනය “අම්මා හෝ තාත්තා” වනු ඇතැයි මගේ සැමියාත් මමත් අපේක්‍ෂා කළත් (බලාපොරොත්තු වූවත්) ඇය සම්පූර්ණයෙන්ම වෙනස් පළමු වචනයකින් අපව පුදුමයට පත් කළාය. දිනක් ඇයගේ කුඩා මුඛය “ඩයිට්” යනුවෙන් මිහිරියට වැරදි ලෙස උච්චාරණය කරන ලදී. ඒ මා විසින් ඒ වේලෙහි ඇයට කියා දුන් “ආලෝකය” නොහොත් “ලයිට්” යන වචනයයි.

“ආලෝකය” (එළිය) යනු බයිබලයේ අප වෙනුවෙන් වාර්තා කර ඇති දෙවියන්වහන්සේගේ පළමු වචන වලින් එකකි. දෙවියන්වහන්සේගේ ආත්මය අඳුරු, හැඩයක් නැති හිස්වූ පෘථිවිය මත සැරිසරද්දී දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවිල්ලට ආලෝකය හඳුන්වා දෙමින් “එළිය වේවා” යි කී සේක (උත්පත්ති 1:3). දේව වචනයේ ඉතිරි කොටස පෙන්නුම් කරන පරිදි ආලෝකය යහපත් බව උන්වහන්සේ පැවසූ සේක. දෙවියන් වහන්සේගේ වචන අපගේ දැනගැන්ම ආලෝකවත් කරන බව ගීතිකාකරු පැහැදිලි කරයි (ගීතාවලිය 119:130). එසේම යේසුස් වහන්සේ උන්වහන්සේව හඳුන්වන්නේ “ලෝකයේ ආලෝකය” ලෙසටත් ජීවනයේ ආලෝකය දෙන්නා ලෙසටත්ය (යොහන් 8:12).

මැවීමේ කාර්යයේදී දෙවියන්වහන්සේගේ පළමු ප්‍රකාශය වුයේ ආලෝකය ලබා දීමයි. ඒ උන්වහන්සේගේ කාර්යය කිරීමට ආලෝකය අවශ්‍ය වූ නිසා නොවේ; ආලෝකය අප සඳහා මැවූ සේක. ආලෝකය උන්වහන්සේව දැකීමට අපට උපකාර වන්නේය. එසේම අප අවට ඇති මැවිල්ලේ උන්වහන්සේගේ ඇඟිලි සළකුණු හඳුනා ගැනීමටත් හොඳ නැති දේවලින් යහපත් දේ හඳුනා ගැනීමටත් මෙම විශාල ලෝකයේ එක් පියවරක් බැගින් යේසුස්වහන්සේ අනුගමනය කිරීමටත් එය අපට හැකියාව ලබා දෙන්නේය.