“ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්” යන කථාවල ප්‍රධාන චරිතය වන ඈන් පවුලකට ආශා කළාය. අනාථ වූ ඇය කවදා හෝ නිවසක් කියා කීමට තැනක් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගෙන තිබුණි. පසුව මැතිව් නම් වැඩිමහල් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ සොහොයුරිය වන මෙරිල්ලා ඇයව ඔවුන්ගේ නිවසට ගැනීමට කැමති බව දැන ගත්තාය. බක්කි කරත්තයෙන් ඔවුන්ගේ නිවසට යන අවස්ථාවේදී ඈන් දිගින් දිගටම කථා කිරීම ගැන ඇය සමාව අයැද සිටිය නමුත් නිහඬ මනුෂ්‍යයෙක් වූ මැතිව් පැවසුවේ “ඔබ කැමති විදිහට ඔබට ඕනෑ තරම් කථා කළ හැකියි. මට කමක් නැහැ” යනුවෙනි. මෙය ඈන්ගේ කන්වලට සංගීතයක් බඳු විය. තමාගේ කථා බහට සවන් දීමට තියා තමා අවට සිටිනවාටත් කිසිවෙක් කැමති නොවී යයි ඇයට හැඟුණි. නිවසට පැමිණීමෙන් පසුව සහෝදර සහෝදරියන් ගොවිපළේ උදව් කිරීමට පිරිමි ළමයෙකු ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටි බව දැනගත් විට ඇගේ බලාපොරොත්තු සුන් විය. ඇයව ආපසු යවයි කියා ඇය බිය වූ නමුත් ඔවුන් ඇයව ඔවුන්ගේ පවුලේ කොටසක් බවට පත් කර ගත් විට ආදරණීය නිවසක් සඳහා වූ ඈන්ගේ ආශාව ඉෂ්ට වුනි.

අපි සියලු දෙනාටම අනවශ්‍ය හෝ තනි වී හෝ ඇතැයි දැණුනු අවස්ථා තිබේ. නමුත් යේසුස්වහන්සේගේ ගැළවීම තුළින් අපි දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් බවට පත් වූ විට උන්වහන්සේ අපට සුරක්‍ෂිත නිවසක් බවට පත් වේ (ගීතාවලිය 62:2). උන්වහන්සේ අප ගැන සතුටු වන අතර සෑම දෙයක් ගැනම උන්වහන්සේ සමග කථා කිරීමට අපට ආරාධනා කරන සේක : එනම් අපගේ කරදර, පරීක්‍ෂාවන්, දුක සහ බලාපොරොත්තු ගැනය. ගීතිකාකරු අපට පවසන්නේ “දෙවියන්වහන්සේ තුළ අපට විවේකය සොයා ගත හැකි බවත්” සහ “උන්වහන්සේ ඉදිරියෙහි අපගේ සිත් වැගිරවිය” හැකි බවත්ය (5 සහ 8 පද).

පසුබට නොවන්න. ඔබ කැමති තරම් දෙවියන්වහන්සේ සමග කථා කරන්න. උන්වහන්සේට කමක් නැත. උන්වහන්සේ අපගේ හදවත් ගැන සතුටු වන සේක. උන්වහන්සේ තුළ ඔබට නිවසක් සොයා ගත හැකිය.