බොහෝ උදෑසනයන්හී මම ස්වාමින්ගේ යාච්ඤාව කියමි. ඒ වචන මගේ ජීවිතයේ අත්තිවාරම වන තුරු අලුත් දවසකට මම නොවටින්නෙමි. මෑතකදී මම පළමු වචන දෙක වන “අපගේ පියාණෙනි” පමණක් කියද්දී මගේ දූරකථනය නාද විය. එයින් මා තිගැස්සුණේ එය පාන්දර 5.43 වූ බැවිනි. ඒ කව්දැයි සිතන්න පුලුවන්ද? දූරකථන මුහුණතේ “තාත්තා” යනුවෙන් සටහන්ව තිබුණි. මට පිළිතුරු දීමට අවස්ථාවක් ලැබීමට පෙර ඇමතුම ඉක්මණින් අවසන් වුනි. මගේ පියා වැරදීමකින් මා අමතන්න ඇති කියා මම සිතුවෙමි. නිසැකවම ඔහු ඇමතුම කළේ වැරදීමකිනි. එය අහඹු සිදුවීමක්ද? සමහර විට. නමුත් මම විශ්වාස කරන්නේ අප ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ දයාවෙන් පිරුණු ලෝකයක බවයි. එදින විශේෂයෙන් මට අපගේ පියාණන් වහන්සේගේ අභිමුඛයේ සහතිකය අවශ්‍ය වුනි.

ඒ ගැන මොහොතක් සිතන්න. යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඔවුන්ගේ යාච්ඤාවන් ආරම්භ කිරීමට ඉගැන්විය හැකි සියලු ක්‍රම අතුරින් “අපගේ පියාණෙනි” (මතෙව් 6:9) යන වචන ආරම්භය ලෙස තෝරා ගත් සේක. අහඹුවක්ද? නැත. යේසුස්වහන්සේ කිසි විටෙක උන්වහන්සේගේ වචන උවමනාවක් නොමැතිව යොදා නොගත් සේක. අපි සියල්ලන්ටම අපගේ භූමික පියවරුන් සමග විවිධ සම්බන්ධතා ඇත. සමහර සම්බන්ධතා යහපත් වන අතර සමහර සම්බන්ධතා බෙහෙවින් අඩුය. කෙසේ වෙතත් අප යාච්ඤා කළ යුතු ආකාරය වන්නේ “මගේ” පියා හෝ “ඔබේ” පියා හෝ ලෙස නොව “අපගේ පියාණෙනි” ලෙසටයි. ඒ අපව දකින අපට සවන් දෙන සහ අප උන්වහන්සේගෙන් විමසීමට පෙර අපට අවශ්‍ය දේ දන්නා තැනන්වහන්සේ උන්වහන්සේ වන බැවිනි (8 පදය).

විශේෂයෙන් අපව අමතක වූ, තනි වූ, අත්හැර දැමූ හෝ හුදෙක් එතරම් වටිනාකමක් නැති හෝ බව හැඟුණ විටදී එය කෙතරම් පුදුමාකාර සහතිකයක්ද? අප කොතනැක සිටියත් එය දිවා හෝ රාත්‍රියේ හෝ කුමන වේලාවක හෝ වූවත් ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වහන්සේ සෑම විටම අප ළඟ සිටින බව මතක තබා ගන්න.