තායිවානයේ හෙදියක් ලෙස රැකියාවක් ආරම්භ කිරීමට ලියා සුදානම්ව සිටියාය. රැකියා අවස්ථා සීමිත වූ මැනිලා නගරයෙහි ඇයට කළ හැකි දේට වඩා දැන් ඇයට තම පවුලට හොඳින් සැපයිය හැකි වනු ඇත. ඇය පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ තම පස් හැවිරිදි දියණිය රැක බලා ගන්නා තම සහෝදරියට උපදෙස් දුන්නාය. “ඔබ ඇයට රට කජු බටර් හැන්දක් දුන්නොත් ඇය ඇගේ විටමින් ලබා ගනීවි” ලියා පැහැදිළි කළාය. “එසේම ඇය ලැජ්ජාශීලියි. ඇය තම ඥාති සහෝදරියන් සමග සෙල්ලම් කරයි. ඇය අඳුරට බයයි යන්නද මතක තබා ගන්න” යැයි පැවසිය.

පසුදා ගුවන් යානයේ ජනේලයෙන් පිටත බලා සිටින විට ලියා මෙසේ යාච්ඤා කළාය. “ස්වාමිනී, මම වගේ මගේ දුවව කවුරුත් දන්නේ නැහැ. මට ඇය සමග සිටිය නොහැකිය. නමුත් ඔබවහන්සේට පුලුවන්”.

අප ප්‍රේම කරන අයව අපි හඳුනන අතර ඔවුන් ගැන සියලු තොරතුරු අපි දන්නෙමු. මන්ද ඔවුන් අපට වටිනා බැවිනි. විවිධ තත්ත්වයන් නිසා අපට ඔවුන් සමග සිටීමට නොහැකි වූ විට අප බොහෝ විට කනස්සල්ලට පත්වන්නේ අප තරම් කිසිවෙකු ඔවුන්ව හඳුනන්නේ නැති නිසා ඔවුන්ට හානි වීමට වැඩි අවදානමක් ඇති හෙයිනි.

ගීතාවලිය 139 හි දාවිත් අපට මතක් කර දෙන්නේ දෙවියන්වහන්සේ වෙන කිසි කෙනෙක්ට වඩා අපව දන්නා බවයි. එලෙසම උන්වහන්සේ අපගේ ප්‍රේමවන්තයන්ව සමීපව හඳුනන සේක (1-4 පද). උන්වහන්සේ ඔවුන්ගේ මැවුම්කරු (13-15 පද) නිසා උන්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගන්නා සේක. සෑම දිනකම ඔවුන්ගේ ජීවිතයේ සිදුවන්නේ කුමක්දැයි උන්වහන්සේ දන්නා සේක (16 පදය). එසේම උන්වහන්සේ ඔවුන් සමග සිටින අතර කිසි විටෙකත් ඔවුන්ව අත් නොහරින සේක (5, 7-10 පද).

ඔබ අන් අය ගැන කනස්සල්ලෙන් සිටින විට ඔවුන්ව දෙවියන්වහන්සේට භාර දෙන්න. මක්නිසාදයත් උන්වහන්සේ ඔවුන්ව හොඳින් දන්නා අතර ඔවුන්ට බොහෝ සෙයින්ම ප්‍රේම කරන හෙයිනි.