අපේ අසල්වැසි මුව රංචුවටයි මටයි සූරියකාන්ත මල් ගැන තිබෙන්නේ වෙනස් මත දෙකකි. සෑම වසන්තයකම මම සූරියකාන්ත මල් සිටුවන විට ඒවායේ මල් පිපෙන සුන්දරත්වය පැමිණෙන තුරු බලා සිටින්නෙමි. කෙසේ වෙතත් මගේ මුව මිතුරන් මල්වල වර්ධනය ගැන තැකීමක් නොකරති. උන්ට අවශ්‍ය වන්නේ කිසිවක් ඉතිරි නොවන තෙක් නටුව සහ කොළ හපන්නටය. මගේ කුර හතරක් ඇති අසල්වැසියන් ඒවා ගිල දමනු ලැබීමට පෙර සූරියකාන්ත මල් පරිණත වනු දැකීමට මම උත්සාහ කරන බැවින් එය වාර්ෂික ගිම්හාන සටනකි. සමහර වෙලාවට මම දිනමි. සමහර විට උන් දිනති.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් ලෙස අපගේ ජීවිත ගැන සිතන විට අප සහ අපගේ සතුරා වන සාතන් අතර ඒ හා සමාන සටනක් සිදුවන බව දැකීම පහසුය. අපගේ ඉලක්කය දෙවියන්වහන්සේගේ ගෞරවය වෙනුවෙන් අපගේ ජීවිතයට උපකාර වන අධ්‍යාත්මික පරිණතභාවයට මග පෙන්වන අඛණ්ඩ වර්ධනයයි. යක්‍ෂයාට අවශ්‍ය වන්නේ අපගේ ඇදහිල්ල විනාශ කර අපව වර්ධනය වීමෙන් වළක්වන්නයි. නමුත් යේසුස්වහන්සේට “සෑම බලයක්” කෙරෙහිම ආධිපත්‍යය ඇති අතර අපව “සම්පූර්ණත්වයට” ගෙන ඒමට උන්වහන්සේට හැකිය (කොලොස්සි 2:10). එනම් උන්වහන්සේ අපව සම්පූර්ණ කරන සේක. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ජයග්‍රහණය අපට එම සුන්දර සූරියකාන්ත මල් මෙන් ලෝකයේ කැපී පෙනීමට ඉඩ සළස්වයි.

යේසුස්වහන්සේ විසින් අපට “එරෛහි චෝදනා වාර්තාව” (අපේ පව් සඳහා දඬුවම) කුරුසියේ ඇණ ගැසූ විට (14 පදය) උන්වහන්සේ අපව පාලනය කළ බලයන් විනාශ කළ සේක. අපි “ඇදහිල්ලෙහි පිහිටා” (7 පදය) සිට
“උන්වහන්සේ සමග ජීවත් කරවූ සේක” (13 පදය). සතුරාගේ අධ්‍යාත්මික ප්‍රහාරයන්ට එරෙහි වීමට සහ යේසුස් වහන්සේ තුළ සමෘද්ධිමත් වීමට එනම් සැබෑ සුන්දර ජීවිතයක් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය බලය උන්වහන්සේ තුළ ඇත.