1478 දී ඉතලියේ ෆ්ලොරන්ස් හී පාලකයා වූ ලොරෙන්සෝ ද මෙඩිසි ඔහුගේ ජීවිතයට එල්ල වූ ප්‍රහාරයකින් බේරුණි. ඔහුගේ රටවැසියන් තම නායකයාට එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දීමට උත්සාහ කළ විට යුද්ධයක් ඇවිළී ගියේය. තත්ත්වය නරක අතට හැරෙද්දී නේපල්ස් හී කුරිරු රජු වන 1 වන ෆර්රැන්ටේ රජු ලෝරන්ස්ගේ සතුරා බවට පත් වූ නමුත් ලොරෙන්සෝගේ නිර්භීත ක්‍රියාවක් සියල්ල වෙනස් කළේය. ඔහු නිරායුධව සහ තනිවම රජු බැහැදකින්නට ගියේය. මෙම නිර්භීතකමත් ඔහුගේ සිත් ඇදගන්නා සුළු බවත් හා අති දක්‍ෂ බවත් ෆර්රැන්ටේගේ පැහැදීම දිනාගත් අතර යුද්ධයද අවසන් විය.

රජෙකුට තම හිත වෙනස් වීමේ අත්දැකීම ලබන්න දානියෙල්ද උපකාර කළේය. බබිලෝනියේ සිටි කිසිවෙකුට නෙබුකද්නෙශර් රජුගේ කරදරකාරී සිහිනය විස්තර කිරීමට හෝ අර්ථ නිරූපණය කිරීමට නොහැකි වුනි. මෙය ඔහුගේ කෝපයට හේතු වූ අතර දානියෙල් සහ ඔහුගේ මිතුරන් ඇතුළු තමාගේ සියලුම උපදේශකයින් මරා දැමීමට නෙබුකද්නෙශර් රජු තීරණය කළේය. නමුත් තමාව මරා දැමීමට තීරණය කළ රජු බැහැ දකින්න දානියෙල් ඉල්ලා සිටියේය (දානියෙල් 2:24).

නෙබුකද්නෙශර් ඉදිරියෙහි සිට ගෙන දානියෙල් සිහිනයේ අභිරහස හෙළ කිරීමේ සියලු ගෞරවය දෙවියන් වහන්සේට දුන්නේය. දිවැසිවරයා එය තේරුම් ගෙන විස්තර කළ විට “දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය. රජවරුන්ගේ ස්වාමින්වහන්සේය” (47 පදය) කියමින් නෙබුකද්නෙශර් දෙවියන්වහන්සේට ගෞරව කළේය. දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ අදහිල්ල කරණකොට ගෙන වූ දානියෙල්ගේ අසාමාන්‍ය ධෛර්යය ඔහුටත් ඔහුගේ මිතුරන්ටත් සහ අනෙකුත් උපදේශකයන්ටත් එදින මරණයෙන් වැළකීමට උපකාරී වුයේය.

අපගේ ජීවිත තුළද වැදගත් පණිවුඩ සන්නිවේදනය කිරීමට නිර්භීතකම සහ එඩිතරකම අවශ්‍යය වන අවස්ථා තිබේ. දෙවියන්වහන්සේ අපගේ වචනවලට මග පෙන්වා කිව යුතු දේ කුමක්දැයි දැන ගැනීමට ප්‍රඥාවද එය හොඳින් පැවසීමේ හැකියාවද අපට ලබා දෙන සේක්වා.