ඥානකාන්ති (රිට්රීට්) වලට නායකත්වය දීමේ වරප්‍රසාදය මට බොහෝ විට ලබා දී ඇත. යාච්ඤා කිරීමට සහ මෙනෙහි කිරීමට දින කිහිපයක් ඉවත්ව යාම නිසා ගැඹුරින් පොහොසත් විය හැකි අතර වැඩසටහන අතරතුර සමහර විට සහභාගීවන්නන්ගෙන් අභ්‍යාසයක් කරන ලෙසට මම ඉල්ලා සිටිමි. “ඔබේ ජීවිතය අවසන් වී ඇති බවත් ඔබේ අවමංගල්‍යය දැන්වීම පුවත් පතේ ප්‍රකාශ කර ඇති බවත් සිතන්න. ඔබ කැමති වන්නේ එහි කුමක් තිබෙනවාටද?” සමහර සහභාගීවන්නන් ඔවුන්ගේ ජීවිතය හොඳින් අවසන් කිරීමට ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමූඛතා වෙනස් කර ගනිති.

දෙවන තිමෝති 4 හි පාවුල් අපෝස්තලුවරයාගේ අවසන් ලිඛිත වචන අඩංගු වේ. බොහෝ විට ඔහුගේ වයස හැට ගණන් වල වුවද ඊට පෙර මරණයට මුහුණ දී ඇති නමුත් තම ජීවිතය බොහෝ දුරට අවසන් වී ඇතැයි යන හැඟීමෙන් සිටියේය (2 තිමෝති 4:6). දැන් තවත් මිෂනාරි චාරිකා හෝ සභාවන් වලට ලිපි ලිවීමක් හෝ සිදු නොවනු ඇත. ඔහු තම ජීවිතය දෙස ආපසු හැරී බලමින් පවසන්නේ “මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්‍ෂා කළෙමි” (7 පදය) යනුවෙනි. ඔහු සර්ව සම්පූර්ණ නොවූවත් (1 තිමෝති 1:15-16) ඔහු තමාගේ ජීවිතය තක්සේරු කරන්නේ තමන් දෙවියන්වහන්සේටත් ශුභාරංචියටත් කොතරම් සත්‍යයව සිටියාද යන්න මගිනි. සම්ප්‍රදායට අනුව ඔහු මෙම වචන කියා ස්වල්ප කාලයකින් ඝාතණයට ලක්වූ බව සඳහන් වේ.

අපගේ අවසාන දින ගැන මෙනෙහි කිරීම දැන් වැදගත් වන්නේ කුමක් නිසාද යන්න පැහැදිළි කර ගැනීමට මාර්ගයක් ඇත. පාවුල්ගේ වචන අනුගමනය කිරීම හොඳ ආදර්ශයක් විය හැකිය : “යහපත් යුද්ධයක් කරන්න. දිවීම අවසන් කරන්න. ඇදහිල්ල රක්‍ෂා කරන්න”. මක්නිසාද අවසානයේ වැදගත් වන්නේ උන්වහන්සේ අපට ජීවත් වීමටද ආත්මික සටන් කිරීමටද එය හොඳින් අවසන් කිරීමටද අවශ්‍ය දේ ලබා දෙන බැවින් දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ මාර්ගවලට විශ්වාසවන්තව සිටීමයි.