අප ජීවත් වන කොලරාඩෝහී ඌෂ්ණත්වය ඉක්මණින් වෙනස් විය හැකිය; සමහරවිට විනාඩි කිහිපයක් ඇතුළත. ඒ නිසා මගේ සැමියා වන ඩෑන් අපේ නිවස සහ ඒ අවට උෂ්ණත්ව වෙනස්කම් ගැන සොයා ගැනීමට ආශාවක් දැක්වීය. උපකරණවල රසිකයෙක් ලෙස ඔහු ඔහුගේ නවතම “සෙල්ලම් බඩුව” එනම් අපගේ නිවස වටා ඇති “කලාප” සතරකින් උෂ්ණත්ව කියවීම් පෙන්වන “උෂ්ණත්වමාපකයක්” ඇසිරීමෙන් පිටතට ගැනීමට උනන්දු විය. මම එය “මෝඩ” උපකරණයක් යයි විහිළු කරමින් සිටියත් නිතර නිතර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීමට මා තුළ තිබූ උනන්දුව ගැන මම පුදුමයට පත්වීමි. ඇතුළත හා පිටත වෙනස්කම් මා සිත් ගත්තේය.

එළිදරව් පොතේ සඳහන් කර ඇති නගර හතෙන් ධනවත්ම එකක් වූ ලවෝදිකයෙහි සභාව “ඇල් මැරුණු” එකක් ලෙසට විස්තර කිරීමට යේසුස්වහන්සේ උෂ්ණත්වය භාවිතා කළ සේක. කාර්ය බහුල බැංකු, ඇඳුම් පැළඳුම් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් වූ නගරයට දුර්වල ජල සැපයුමක් හේතුවෙන් බාධා ඇති වුනි. ඒ නිසා උණු දිය උල්පතකින් ජලය ගෙන ඒමට එයට ජල නලයක් අවශ්‍ය විය. කෙසේ වෙතත් ජලය ලවෝදිකයට පැමිණෙන විට එය උණුසුම් හෝ සීතල හෝ නොවීය.

සභාවද ඇල්මැරුණු ස්වභාවයක් දැරීය. යේසුස්වහන්සේ මෙසේ කී සේක : “මම නුඹේ ක්‍රියා දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උණුසුම්ව සිටිනවාට කැමැත්තෙමි. නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි” (එළිදරව් 3:15-16). ක්‍රිස්තුස් වහන්සේ පැහැදිළි කළ පරිදි “මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චත්තාප වෙන්න” (19 පදය).

අපගේ ගැළවුම් කරුවාණන්ගේ ආයාචනය අපද ඕනෑ කමින් සළකා බැලිය යුතු වන්නේය. ඔබ අධ්‍යාත්මික වශයෙන් උණුසුම් හෝ සීතලව සිටින්නේද? උන්වහන්සේගේ නිවැරදි කිරීම පිළිගෙන උනන්දු දැඩි ඇදහිල්ලකින් ජීවත් වීමට උපකාර කරන ලෙසට උන්වහන්සේගෙන් ඉල්ලන්න.