1938 සැප්තැම්බර් 21 වැනි දින මධ්‍යහ්නයේදී තරුණ කාලගුණ විද්‍යාඥයෙක් එක්සත් ජනපද කාලගුණ කාර්යාංශයට නව එංගලන්තයේ උතුරු දෙසට සුළි කුණාටුවක් පැමිණෙන බවට අනතුරු ඇඟවීය. නමුත් කාලගුණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා චාල්ස් පියර්ස්ගේ ඒ අනාවැකිය ගැන සමච්චල් කළේය. ඒකාන්තයෙන්ම උෂ්ණ කලාපයට අයත් කුණාටුවකට එතරම් උතුරට පහර දිය නොහැක.

පැය දෙකකට පසුව, 1938 නව එංගලන්ත සුළි කුණාටුව ලෝන්ග් අයිලන්ඞ් වෙත කඩා බැස්සේය. ප.ව. 4:00 වන විට එය නව එංගලන්තයට ළඟා වී, නැව් ගොඩ බිමට විසී කළ අතර නිවාස මුහුදට කඩා වැටෙන්න සැළැස්වීය. හයසියයකට වැඩි පිරිසක් මිය ගියහ. ඉතා නිවැරදි දත්ත සහ ඔහුගේ සවිස්තරාත්මක සිතියම් මත පදනම්වූ පියර්ස්ගේ අනතුරු ඇඟවීම ලැබුණේ නම් විනාශයට පත්වූවන්ට බොහෝ විට ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට ඉඩ තිබුණි.

අපි සවන් යොමු කළ යුත්තේ කාගේ වචනවලටදැයි දේව වචනය අපට පූර්වාදර්ශයක් දෙන්නේය. යෙරෙමියාගේ කාලයේදී බොරු අනාගතවක්තෘන් ගැන දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට අනතුරු ඇඟවූ සේක. “ඔවුන්ගේ වචන වලට කන් නොදෙල්ලා” කියා උන්වහන්සේ කී සේක. “ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමින්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති” (යෙරෙමියා 23:16). දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසුවේ “ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචනවලට කන් දෙන්ට මාගේ සෙනගට සළස්වති” (22 පදය) යනුවෙනි.

“බොරු අනාගතවක්තෘවරු” තවමත් අප සමඟ සිටිති. ”විශේෂඥයන්” දෙවියන්වහන්සේව සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් හෝ උන්වහන්සේගේ වචන ඔවුන්ගේ අරමුණුවලට ගැලපෙන පරිදි විකෘති කරමින් හෝ උපදෙස් ලබා දෙති. නමුත් උන්වහන්සේගේ වචනයෙන් සහ ආත්මයාණන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපට සත්‍යයෙන් අසත්‍යය හඳුනා ගැනීමට දේව වචනය ලබා දුන් සේක. උන්වහන්සේගේ වචනයේ සත්‍යතාවයෙන් අප සියල්ල මැන බලන විට, අපගේම වචන සහ ජීවිතය වැඩි වැඩියෙන් එම සත්‍යය අන් අයට පිළිබිඹු කරනවා ඇත.