පටු දොර අවන් හල සොයා ගෙන පැමිණෙන අයට ක්‍රොයිසන්ට්ස් (අඩ සඳ හැඩැති පාන් රොල් වර්ගයක්), ඩම්ප්ලිං (සතුන්ගේ තෙල් මන්ද තම්බා පලතුරු දමා සාදන පුඩිමක්), ඌරු මස් කරියක් සහ සියලු වර්ගයේ රසවත් ආහාර ලබා ගත හැකිය. තායිවාන් රටේ ටයිනාන් නගරයේ පිහිටා ඇති මෙම අවන්හල ඇත්තෙන්ම බිත්තියේ සිදුරකි. එහි දොරටුව සෙන්ටි මීටර් හතළිහක් පමණ පළල (අඟල් දාසයකට වඩා අඩු) එනම් සාමාන්‍ය පුද්ගලයෙක්ට අමාරුවෙන් ඇතුල්වීමට ප්‍රමාණවත් වේ. එහෙත් අභියෝග නොතකා මෙම අති විශිෂ්ඨ අවන්හල විශාල ජනකායක් ආකර්ශණය කර ගත්තේය.

ලූක් 13:22-30 හි විස්තර කර ඇති පටු දොර සම්බන්ධයෙන් මෙය සත්‍යය වේද? යමෙක් යේසුස්වහන්සේගෙන් ඇසුවේ “ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්ද?” යනුවෙනි (23 පදය). පිළිතුරු වශයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට “පටු දොරකඩින් ඇතුල් වීමට වීර්යය කරන්න” කියා යේසුස්වහන්සේ ඔහුට අභියෝග කළ සේක (24 පදය). උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම අසමින් සිටියේ “ගැළවීම ලැබූ අය අතර ඔබත් ඇතුළත්ද?” කියාය. යුදෙව්වන්ට උඩඟු නොවන ලෙස ඉල්ලා සිටීමට යේසුස්වහන්සේ මෙම උපමාව භාවිතා කළ සේක. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් නිසා හෝ ඔවුන් නීතිය පිළිපදින නිසා හෝ ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් වන බවයි. නමුත් යේසුස් වහන්සේ ඔවුන්ට අභියෝග කළේ “ගෙයි ස්වාමියා දොර වැසීමට පෙර” (25 පදය) උන්වහන්සේට ප්‍රතිචාර දක්වන ලෙසටයි.

අපගේ පවුල් පසුබිම හෝ අපගේ ක්‍රියාවන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ කළ නොහැක. පාපයෙන් සහ මරණයෙන් අපව ගළවා ගත හැක්කේ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණි (එපීස 2:8-9; තීතස් 3:5-7). දොර පටුය. නමුත් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන්ට එය පුළුල්ව විවෘතය. පටු දොරෙන් උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසට උන්වහන්සේ අද අපට ඇරයුම් කරන සේක.