වීදියක ප්‍රධාන ජල නළයට සම්බන්ධ කර ඇති අතුරු නළයෙන් පාරට ජලය ගලා ගිය අතර මම මගේ අවස්ථාව දුටුවෙමි. මට ඉදිරියෙන් වාහන කිහිපයක් ගොස් තිබූ අතර මම සිතුවේ “නොමිළේ වාහනය සේදීමට හොඳ අවස්ථාවක්” ලෙසිනි. මගේ මෝටර් රථය මාසයකින් පිරිසිදු කර නොතිබූ අතර දූවිලි ඝණවී තිබුණි. ඒ නිසා මම වාහනය පණ ගන්වමින් ඉදිරියට ගියෙමි.

“ක්රැක්…” (වීදුරු කැඩෙන ශබ්දයක්).

එය ඉතා වේගයෙන් සිදු විය. එදින උදෑසන මගේ කළු පැහැති මෝටර් රථයේ වීදුරුව සහ අභ්‍යන්තරය රත් කරමින් ඒ වන විටත් හිරු රැස් වැදී තිබුණි. නමුත් ජල නළයෙන් ගලා ආ ජලය ඉතා සීතල විය. සීතල ජලය උණුසුම් වීදුරුවේ වැදීමත් සමගම ඉහළ සිට පහළට අකුණු ගසන්නාක් මෙන් ඉරිතැලීමක් සිදු වුනි. මගේ නොමිළයේ රථය සේදීම අන්තිමේදී මට විශාල වියදමක් වූ කාර්යයක් වූයේය.

සිතීමට හෝ යාච්ඤා කිරීමට පවා මම කලින් “විරාම බොත්තම තද කර” තිබුණේ නම් මට මෙම විපාකයට මුහුණ දෙන්න වෙන්නේ නැත. එවැනි මොහොතකට කවදා හෝ මුහුණ දී තිබේද? ඊශ්‍රායෙල් සෙනග මීට වඩා බැරෑරුම් තත්ත්වයන් යටතේ එසේ කළහ. දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් දේශයට ඇතුල් වූ විට වෙනත් ජාතීන් පළවා හැරීමට දෙවියන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වී තිබුණි (යෝෂුවා 3:10). එසේ කළේ ඔවුන් බොරු දෙවිවරුන්ගෙන් පරීක්‍ෂාවට ලක් නොවන පිණිසය (ද්වීථිය කථාව 20:16-18). නමුත් එක් ජාතියක් ඊශ්‍රායලයේ ජයග්‍රහණ දැක ඔවුන් දුර බැහැර ජීවත් වන බවට ඒත්තු ගන්වා ඔවුන්ව රවටා ගැනීමට පරණ පාන් භාවිතා කළේය. ඊශ්‍රායෙල් මනුෂ්‍යයෝ “ස්වාමින්වහන්සේගෙන් දැනුමැතිකම් නොවිචාරාම ඔවුන්ගේ ආහාර වලින් පිළිගත්තෝය. යෝෂුවා ඔවුන් සමග සමාදාන වී ඔවුන්ගේ ප්‍රාණ ඉතුරු කරන හැටියට ඔවුන් සමග ගිවිසුමක් කළේය” (යෝෂුවා 9:14-15). එසේ කළේ නොදැනුවත්වම දෙවියන්වහන්සේගේ උපදෙස් මග හරිමින්ය.

අපි යාච්ඤාව අවසන් විසඳුම වෙනුවට පළමු විසඳුම බවට පත් කර ගන්නා විට අපි දෙවියන්වහන්සේගේ මග පෙන්වීමට, ප්‍රඥාවට සහ ආශිර්වාදයට ආරාධනා කරන්නෙමු. අද දිනයේ “විරාම බොත්තම එබීමට” උන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.