2021 වසන්තයේදී කුණාටු හඹා යන්නන් කිහිප දෙනෙක් ටෙක්සාස් ප්‍රාන්තයේ දැඩි සුළි සුළඟක් (ටොර්නාඩෝවක්) අසළ දේදුන්නක වීඩියෝ පටිගත කරමින් සහ ඡායාරූප ගනිමින් සිටියහ. එක් වීඩියෝවක දිගු තිරිඟු කරල් කැරකෙන සුළඟේ වේගයට නැමී තිබෙන දර්ශනයක් තිබුණි. එසේම දීප්තිමත් දේදුන්නක් අළු පැහැති අහස කපා ගෙන යෑම තවත් දර්ශනයකි. තවත් වීඩියෝවක නරඹන්නන් කිහිප දෙනෙක් පුනීල හැඩැති වලාකුළ අසළ ස්ථිරව සිටින බලාපොරොත්තුවේ සංකේතය දෙස බලා සිටිනවා දැක ගත හැකි වුනි.

දුෂ්කර කාල වලදී දෙවියන්වහන්සේ වෙතට හැරීමට ගීතාවලිය 107 හි ගීතිකාකරු බලාපොරොත්තුවක් සහ දිරිගැන්වීමක් අපට ලබා දෙන්නේය. කුණාටුව මැද සිටි සමහරුන්ගේ “නුවණ නැති වීම” ගැන ඔහු විස්තර කරයි (27 පදය). “එවිට ඔව්හූ තමුන්ගේ විපතේදී ස්වාමින්ට මොර ගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන්ව පිටතට ගෙනෙන සේක” (28 පදය).

ජීවිතය කුණාටුවක් ලෙස හැඟෙන විට උන්වහන්සේගේ දරුවන් බලාපොරොත්තු සහිතව සිටීමට අරගල කරන බව දෙවියන්වහන්සේ දන්නා සේක. විශේෂයෙන් ක්‍ෂිතිජය අඳුරු සහ කලබලකාරී ලෙස පෙනෙන විට අපට උන්වහන්සේගේ විශ්වාසවන්තභාවය පිළිබඳව මතක් කිරීම් අවශ්‍ය වන්නේය.

අපගේ ජීවිත කුණාටු අපගේ ජීවිතවලට සැළකිය යුතු බාධාවක් ලෙස පැමිණියද චිත්තවේගී කැළඹීම් ලෙස හෝ මානසික ආතතියක් ලෙස හෝ පැමිණියද දෙවියන්වහන්සේට අපගේ කුණාටු “නිශ්චල” කරමින් අපව ආරක්‍ෂිත ස්ථානයකට ගෙන යා හැකිය (29-30 පද). අප කැමති ආකාරයෙන් හෝ වේලාවෙන් සහනයක් නොලැබුණත් දෙවියන්වහන්සේ විසින් දේව වචනයේ දී ඇති පොරොන්දු ඉටු කරන බවට අපට විශ්වාස කළ හැකිය. උන්වහන්සේගේ කල්පවත්නා බලාපොරොත්තුව ඕනෑම කුණාටුවක් තුළින් කපා ගෙන යනු ඇත.