1742 නොවැම්බර් මාසයේදී චාර්ල්ස් වෙස්ලි විසින් දේශනා කළ ශුභාරංචියට විරෝධය දැක්වීම සඳහා එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර්හී කෝලහාලයක් ඇති විය. චාර්ල්ස් වෙස්ලි සහ ඔහුගේ සහෝදර ජෝන් සභාව තුළ දිගු කාලීනව පැවතී සම්ප්‍රදායයන් වෙනස් කරමින් සිටි බවක් පෙණුනි. එය බොහෝ නගර වැසියන්ට දරා ගත නොහැකි වුනි.

ජෝන් වෙස්ලි කෝලහාලය ගැන දැන ගත් විට වහාම ස්ටැෆර්ඩ්ෂයර් වෙතට ගියේ තම සහෝදරයාට උපකාර කරන පිණිසය. වැඩි කල් නොගොස් නොහික්මුණු සෙනග ජෝන් නැවතී සිටි ස්ථානය වට කළහ. නිර්භීතව ඔහු එම විරෝධකාරයන්ගේ නායකයින් මුහුණට මුහුණ හමු වී ඔවුන් සමග සන්සුන්ව කථා කළ අතර ඔවුන්ගේ කෝපය එකින් එක සමනය විය.

වෙස්ලිගේ මෘදු සහ නිහඬ ආත්මය කෝපයෙන් සිටි පිරිස සන්සුන් කළේය. එහෙත් එය ඔහුගේ සිතේ ස්වභාවිකව ඇති වූ මෘදු බවක් නොවේ. නමුත් එය වෙස්ලි ඉතා සමීපව අනුගමනය කළ ගැළවුම්කරුවාණන්ගේ හදවත විය. “මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙන ගන්න” (මතෙව් 11:29) කියා යේසුස්වහන්සේ කී සේක. මෙම මෘදුකමේ වියගහ අපෝස්තළු පාවුල්ගේ අභියෝගය පිටුපස සැබෑ බලය බවට පත් විය. “සියලු ආකාර යටහත් කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසන්න” (එපීස 4:2).

අපගේ මනුෂ්‍යයත්වය තුළ එවැනි ඉවසීමක් අපට කළ නොහැක්කකි. නමුත් අප තුළ ඇති ආත්මයාණන්වහන්සේගේ ඵලයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ හදවතේ මෘදුකම අපව වෙන් කළ සතුරු ලෝකයට මුහුණ දීමට අපව සන්නද්ධ කළ හැකිය. අපි එසේ කරන විට “නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැන ගන්ට ලැබේවා” (පිලිප්පි 4:5) යන පාවුල් තුමාගේ වචන අපි ඉෂ්ඨ කරන්නෙමු.