ඔක්තෝබර් මාසයේ නිවාඩුවක් අතර තුර නිදන්ගත වේදනාව සමග ඇති වූ තවත් සටනක් නිසා එයින් සුවය ලැබීමට පළමු දින කිහිපය අපගේ කාමරයේ ගත කිරීමට මට සිදු විය. මගේ හැඟීම් අහස මෙන් අඳුරු විය. අවසානයේදී මම මගේ සැමියා සමග අසළ ප්‍රදීපාගාරයක දර්ශන නැරඹීමට පිටත් වූ විට අඳුරු වලාකුළු අපගේ දර්ශනය බොහෝ දුරට අවහිර කළේය. එහෙත් මම සෙවනැළි සහිත කඳු සහ අඳුරු ක්‍ෂිතිජයේ ඡායාරූප කිහිපයක් ගත්තෙමි.

පසුව රාත්‍රී කාලයේ ඇතිවූ වර්ෂාව නිසා අපි සුරක්‍ෂිත ස්ථානයක සිටියත් බලාපොරොත්තු සුන්වූ මම අපගේ ඩිජිටල් ඡායාරූප බලන්නට පටන් ගත්තෙමි. පුදුමයට පත්වූ මම මගේ ස්වාමි පුරුෂයාට කැමරාව දුන්නෙමි.  “දේදුන්නක්”. කලින් අඳුර කෙරෙහි අවධානය යොමු කළ නිසා මගේ වෙහෙසට පත්වූ ආත්මය ප්‍රබෝධමත් කිරීමට දෙවියන්වහන්සේ ලබා දුන් නැවුම් බලාපොරොත්තුව මට මග හැරී තිබුණි (උත්පත්ති 9:13-16).

ශාරීරික සහ හැඟීම් බර දුක් වේදනා බොහෝ විට අපව බලාපොරොත්තු සුන්වීමේ ගැඹුරට ඇද දැමිය හැකිය. ප්‍රබෝධය සඳහා දැඩි ඕනෑකමකින් දෙවියන්වහන්සේගේ නිරන්තර අභිමුඛය සහ අසීමිත බලය පිළිබඳ සිහිගැන්වීම් සඳහා අපි පිපාසයෙන් සිටිමු (ගීතාවලිය 42:1-3). අප සහ අන් අය වෙනුවෙන් දෙවියන්වහන්සේ අප වෙත පැමිණි අසංඛ්‍යාත වාර සිහිපත් කරන විට මේ මොහොතේ අපට කෙතරම් පහත් බවක් දැනුණත් අපගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ සුරක්‍ෂිත බව අපට විශ්වාස කළ හැකිය (4-6 පද).

නරක ආකල්ප හෝ දුෂ්කර තත්ත්වයන් හෝ අපගේ දැක්ම අඳුරු කළ විට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේට හඬ ගසන ලෙසටත් බයිබලය කියවීමට සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගන්නා ලෙසටත්ය (7-11 පද). අපි දෙවියන්වහන්සේව සොයන විට අඳුරු දිනයන්ට ඉහළින් ආරුක්කු වූ බලාපොරොත්තුවේ දේදුන්න සොයා ගැනිමට උන්වහන්සේ අපට උපකාර කරන බවට අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේය.