සිත් සාංකාව හේතුවෙන් විද්‍යාලයේ ගත කළ කාලය “අසරණ සහ බලාපොරොත්තු සුන්වූ” කාලයක් ලෙස එක් ව්‍යාපාරිකයෙක් විස්තර කළ බව වරක් මට අසන්නට ලැබුණි. කණගාටුවට කරුණක් නම් ඔහු කිසි විටෙකත් මෙම හැඟීම් ගැන වෛද්‍යවරයෙකු සමග කථා නොකළ අතර ඒ වෙනුවට වඩාත් දැඩි සැළසුම් සකස් කිරීමට පටන් ගත්තේය. එනම් ඔහුගේ ප්‍රාදේශීය පුස්තකාලයෙන් සියදිවි නසා ගැනීම පිළිබඳ පොතක් ඇණවුම් කර ඔහුගේ ජීවිතය නැති කර ගැනීමට දිනයක් නියම කර ගත්තේය.

දෙවියන්වහන්සේ අසරණ සහ බලාපොරොත්තු සුන් වූවන් ගැන සළකන සේක. අපි මෙය දකින්නේ ඔවුන්ගේම අඳුරු කාල වලදී බයිබලයේ සටහන් වී තිබෙන චරිතවලට උන්වහන්සේ දක්වන සැළකීමෙනි. යෝනාට මැරෙන්න අවශ්‍ය වූ විට දෙවියන්වහන්සේ ඔහුව මුදු මොළොක් සංවාදයක යෙදෙවූ සේක (යෝනා 4:3-10). එලියා ඔහුගේ ජීවිතය නැති කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටි විට (1 රාජාවලිය 19:4) දෙවියන්වහන්සේ ඔහුව ප්‍රබොධමත් කිරීමට රොටී සහ ජලය සැපයූ සේක (5-9 පද). එසේම ඔහුට මෘදු ලෙස කථා කළ සේක (11-13 පද). එසේම ඔහු තනිවී සිටින්නේ යයි ඔහු සිතුවත් එසේ නොවන බව දැකීමට ඔහුට උපකාර කළ සේක (18 පදය). දෙවියන්වහන්සේ මුදු මොළොක් ප්‍රායෝගික උපකාරයන් සහිතව අධෛර්යයමත් වූවන් වෙත ළඟා වන සේක.

සියදිවි නසා ගැනීම පිළිබඳ පොත සුදානම් වූවාට පසුව පුස්තකාලය සිසුවාට ඒ බව දැනුම් දුන්නේය. නමුත් වැරදීමකින් මෙම දැනුම් දීම ඔහුගේ දෙමාපියන්ගේ ලිපිනයට ගියේය. කලකිරුණු ඔහුගේ මව ඔහුට ඇමතූ විට ඔහුගේ සියදිවි නසා ගැනීමෙන් සිදුවන විනාශය ඔහුට වැටහුණි. එසේ ලිපිනය මාරු වීම සිදු නොවුණා නම් ඔහු අද මෙහි නොසිටින බව ඔහු පැවසුවේය.

එම ශිෂ්‍යයා වාසනාවෙන් හෝ අහම්බෙන් ගැළවුනා යයි මම නොසිතමි. අපට අවශ්‍ය වූ විට එය පාන් සහ ජලය වේවා කාලෝචිත වැරදි ලිපිනයක් වේවා සිතාගත නොහැකි මැදිහත් වීමක් නිසා හෝ වේවා අපගේ ජීවිත ගළවා ගන්නා විට අපට දිව්‍යමය මුදු මොළොක් බවක් සමිමුඛ වී තිබේ.