“ප්‍රේමණීය දෙවියන්වහන්ස ඔබවහන්සේගේ මෘදු නිවැරදි කිරීම සඳහා ස්තූතියි”. මගේ උරහිස් පහත් කර ගෙන මම ඒ අමාරු වචන මගේ මුවෙන් පිට කළෙමි. සෑම දෙයක්ම මට තනියෙන් කරන්න හැකිය කියා මම උඩඟු වී සිටියෙමි. මාස ගණනාවක් තිස්සේ මම සාර්ථක වැඩ ව්‍යාපෘති භුක්ති වින්දෙමි. සම්මාන ලැබුවෙමි. ඒ නිසා මාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට සහ දෙවියන්වහන්සේගේ මග පෙන්වීම ප්‍රතික්‍ෂේප කිරීමට මම පෙළඹුණෙමි. අභියෝගාත්මක ව්‍යාපෘතියක් තුළින් මා සිතන තරම් මම බුද්ධිමත් නොවන බව වටහා ගැනීමට මට හැකියාව ලැබුණි. දෙවියන්වහන්සේගේ උදව් අවශ්‍ය නැතැයි සිතීමට මගේ සිතේ උඩඟු කම මාව රැවැට්ටුවේය.

බලවත් එදොම් රාජ්‍යය එහි උඩඟුකම නිසා දෙවියන්වහන්සේගෙන් හික්මවීම් ලැබුවාය. ඒදොම් කඳුකර භූමි මත පිහිටා තිබූ අතර ඇය සතුරන්ගෙන් ආරක්‍ෂිත ලෙස පෙණුනි (ඔබදියා 1-3). ඒදොම් ධනවත් රාජ්‍යයක් විය. එය උපායමාර්ගික වෙළඳ මාර්ගවල කේන්ද්‍රයේ පිහිටා තිබූ අතර පුරාණ ලෝකයේ ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩයක් වූ තඹ වලින්ද පොහොසත් විය. එය යහපත් දේවලින් පිරී තිබුණි. එසේම උඩඟුකමෙන්ද පිරී තිබුණි. එහි පුරවැසියන් දෙවියන්වහන්සේගේ සෙනගට පීඩා කළත් ඔවුන්ගේ රාජ්‍යය පරාජය කළ නොහැකි බව විශ්වාස කළහ (10-14 පද). නමුත් තම විනිශ්චය ගැන ඔවුන්ට පැවසීමට දෙවියන්වහන්සේ ඔබදියා අනාගතවක්තෘ වරයා භාවිතා කළ සේක. ජාතීන් ඒදොම්ට විරුද්ධව නැගී සිටින අතර වරක් බලවත් රාජ්‍යයක් වූ එය අනාරක්‍ෂිතව නින්දාවට පත් වනු ඇත (1-2 පද).

උඩඟුකම අපව රවටා දෙවියන්වහන්සේ නොමැතිව අපගේ කොන්දේසි අනුව ජීවිතය ගත කළ හැකි බව පවසයි. එය අධිකාරියට, නිවැරදි කිරීමට සහ දුර්වලකමට අපට පීඩා කළ නොහැකිය යන හැඟීමක් ඇති කරයි. නමුත් දෙවියන්වහන්සේ අපව කැඳවන්නේ උන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වීමටය (1 පේත්‍රැස් 5:6). අපි අපගේ උඩඟුකමෙන් හැරී පසුතැවිලි වීම තෝරා ගන්නා විට දෙවියන්වහන්සේ උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමට අපට මග පෙන්වන සේක.