සංස්ථාවක් විසින් නිෂ්පාදනය කරන එක් ආහාරයක් දහ වතාවක් මිළදී ගන්නා පුද්ගලයෙකුට ගුවනින් සැතපුම් දහසක් යාමට අවස්ථාවක් පිරිනමයි. එක් මනුෂ්‍යයෙක් එම සංස්ථාවේ ලාභම නිෂ්පාදනය තනි චොකලට් පුඩිං කෝප්ප බව වටහා ගත්තේය. ඔහු දොළොස් දහසකට වඩා මිළදී ගත්තේය. මේ සඳහා ඔහු වැය කළ ඇමෙරිකානු ඩොලර් 3,000 සඳහා ඔහුට එම සංස්ථාවෙන් “රන් තත්ත්වය” නමැති සහතිකයක් හිමි වූ අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ජීවිත කාලයටම ගුවන් යානයේ ගමන් කිරීමට අසීමිත සැතපුම් ප්‍රමාණයක් ලැබුණි. ඔහු මිළදී ගත් පුඩිං පුණ්‍යායතනයකට පරිත්‍යාග කළ අතර එමගින් ඔහුට ඇමෙරිකානු ඩොලර් 800 ක බදු කපා හැරීමක්ද ලැබුණි. ඔහු දක්‍ෂයෙක්.

යේසුස්වහන්සේ කපටි කළමනාකරුවෙක් ගැන මතභේදයන්ට තුඩු දෙන උපමාවක් පැවසූ සේක. එම කළමනාකරු තමාව සේවයෙන් පහ කරද්දී ණය ගැතියන් තම ස්වාමියාට ගෙවිය යුතු ණය මුදල් අඩු කළේය. ඔහු දැන් එම ණයකාරයන්ට කරන අනුග්‍රහය සඳහා පසුව ඔවුන්ගේ උපකාරය මත විශ්වාසය තැබීය හැකි බව එම කළමනාකරු දැන සිටියේය. යේසුස්වහන්සේ කළමනාකරුගේ වංකකම ගැන ප්‍රශංසා නොකළ නමුත් ඔහුගේ උපායෙහි දක්‍ෂතාවයෙන් යම් දෙයක් අපට ඉගෙන ගත හැකි බව උන්වහන්සේ දැන සිටි සේක. යේසුස්වහන්සේ පැවසුවේ අපි සූක්‍ෂම ලෙස “අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිතුරන් සපයා ගන්න. එවිට එය පහව යන කල ඔවුහු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත” කියාය (ලූක් 16:9). ඉහත කථාවේ “පුඩිං ගත් මනුෂ්‍යයා” ශත විසි පහක මුදල් ගෙවා ගත් අතුරු පස ගුවන් ගමන් බවට පරිවර්තනය කළාක් මෙන් අපට අපගේ “ලෞකික ධනය”
“සැබෑ ධනය” ලබා ගැනීමට භාවිතා කළ හැකිය (11 පදය).

මෙම ධනය කුමක්ද? යේසුස්වහන්සේ මෙසේ කී සේක. “නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න. පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයා ගන්න. එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත” (12:33). අපගේ ආයෝජන ගැළවීම උපයා නොදුන්නත් එය තහවුරු කරන්නේය. “මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය” (12:34).