චාර්ලා මිය යමින් සිටි අතර ඇය එය දැන සිටියාය. රෝහල් කාමරයේ ඇඳ මත ඇය වැතිර සිටිද්දී ඇගේ ශල්‍ය වෛද්‍යවරයා සහ තරුණ වෛද්‍ය කණ්ඩායමක් ඇගේ කාමරයට පැමිණියහ. ඊළඟ මිනිත්තු කිහිපය තුළදී වෛද්‍ය වරයා ඇයව නොසළකා හැර ඇගේ මාරාන්තික රෝග තත්ත්වය ගැන තරුණ වෛද්‍ය කණ්ඩායමට විස්තර කරමින් සිටියේය. අවසානයේ ඔහු ඇය දෙසට හැරී “ඔබට කොහොමද?” කියා ඇසුවේය. චාර්ලා දුර්වල ලෙස සිනාහ සී යේසුස්වහන්සේ තුළ ඇගේ බලාපොරොත්තුව හා සාමය ගැන උණුසුම් ලෙස පැවසුවාය.

වසර දෙදහසකට පමණ පෙර පහර කෑමට ලක්වූ යේසුස්වහන්සේගේ නිරුවත් සිරුර නරඹන්නන් සමූහයක් ඉදිරියේ කුරුසියක එල්ලා තිබුණි. උන්වහන්සේ තම වධකයන්ට පහර දෙයිද? නැත. යේසුස්වහන්සේ පැවසුවේ
“පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුහු නොදනිති” යනුවෙනි (ලූක් 23:34). ව්‍යාජ ලෙස වරදකරු කර කුරුසියේ ඇණ ගසනු ලැබූවද උන්වහන්සේ තම සතුරන් වෙනුවෙන් යාච්ඤා කළ සේක. පසුව උන්වහන්සේ තවත් අවමානයට ලක්වූ අපරාධකරුවෙක්ට ඔහුගේ ඇදහිල්ල නිසා පැවසුවේ ඔහු ඉක්මණින්ම උන්වහන්සේ සමග “පාරාදීසයේ” සිටිනු ඇති බවය (43 පදය). උන්වහන්සේගේ වේදනාව සහ ලැජ්ජාව තුළදී පවා අන් අය වෙත ප්‍රේමයෙන් යුතුව බලාපොරොත්තුවේ සහ ජීවනයේ වචන බෙදා ගැනීමට උන්වහන්සේ තෝරා ගත් සේක.

චාර්ලා තම සවන් දෙන්නන්ට ක්‍රිස්තුස්වහන්සේ ගැන බෙදා ගැනීමෙන් පසුව වෛද්‍යවරයා ඇගෙන් ඇසූ ප්‍රශ්නයම ඇය ඔහු වෙත යොමු කළාය. ඇය ඉතා සෙනෙහසින් ඔහුගේ කඳුළු පිරුණු දෑස් දෙස බලා “ඔබට කොහොමද?” කියා සෙමෙන් ඇසුවාය. ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් සහ බලයෙන් වෛද්‍යවරයාට සහ කාමරයේ සිටි අනෙක් අය කෙරෙහි ආදරය සහ සැළකිල්ල පෙන්වමින් ඇය ජීවනයේ වචන බෙදා ගත්තාය. අද හෝ ඉදිරි දිනවලදී අප මුහුණ දෙන කුමන දුෂ්කර තත්ත්වයකදී වුවද ජීවනය පිළිබඳ වචන ආදරයෙන් කථා කිරීමට ධෛර්යය ලබා දෙන ලෙසට දෙවියන්වහන්සේව විශ්වාස කරමු.