කොලරාඩෝහී මවක් තම දරුවා ආරක්‍ෂා කිරීම සඳහා කිසි දෙයකට බිය නොවන බව ඔප්පු කළාය. ඇගේ පස් හැවිරිදි පුතා එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී කෑ ගසන හඬ ඇයට ඇසුණි. ඇය පිටතට දිව ගිය අතර ඇගේ පුත්‍රයාට බලාපොරොත්තු රහිත මිතුරෙක් එනම් කඳුකර සිංහයෙක් එකතු වී ඇති බව දැක බියට පත් වූවාය. මෙම විශාල සත්ත්වයා ඇගේ පුතාගේ ඇඟ මත සිටි අතර දරුවාගේ හිස උගේ කට තුළ විය. මව සිංහයා සමග සටන් කිරීමට සහ තම පුතා බේරා ගැනීමට උගේ හකු විවර කිරීමට තම අභ්‍යන්තර ශක්තිය සහ ධෛර්යය රැගෙන ඉදිරියට ගියාය. මෙම මවගේ වීර ක්‍රියාව අපට මතක් කර දෙන්නේ දේව වචනයේ මව්කම ගැන භාවිතා කර ඇති ආකාරයෙන් දෙවියන්වහන්සේගේ දැඩි ආදරය සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඇති ආරක්‍ෂාව පෙන්නුම් කරන බවයි.

රාජාලී මවක් තම පැටවුන් රැක බලා ගන්නා ලෙස දෙවියන්වහන්සේ තමන්ගේ සෙනගව මුදු මොළොක් ලෙස රැක බලා ගෙන සැනසූ සේක (ද්වීථිය කථාව 32:10-11; යෙසායා 66:13). එසේම තමා සමග වෙන් කළ නොහැකි බැඳීමක් ගොඩනගා ගත් කිරි බොන දරුවෙක් කිසිදා අමතක කළ නොහැකි මවක් මෙන් දෙවියන්වහන්සේ කිසි විටෙකත් තම සෙනගව අමතක නොකරන අතර ඔවුන්ගෙන් අනුකම්පාව සදහටම වළක්වන්නේ නැත (යෙසායා 54:7-8). අවසාන වශයෙන් මව් කිරිල්ලියක් තම පියාපත් යට පැටවුන්ට ආරක්‍ෂිත ආවරණයක් ලබා දෙන්නාක් මෙන් දෙවියන්වහන්සේ “ස්වකීය පියාපතින් නුඹ වසන සේක” සහ “උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය. මහා පලිහක්ය” (ගීතාවලිය 91:4).

සමහර විට තනිකම, අමතක වීම සහ සියලු ආකාරයේ අධ්‍යාත්මික සතුරන්ගේ ග්‍රහණයට අපව හසුවී ඇතැයි අපට දැනේ. උන්වහන්සේ අනුකම්පා සහගතව අපට සළකන බවත් අපට සැනසීම ලබා දෙන බවත් අප වෙනුවෙන් සටන් කරන බවත් සිහිපත් කර ගැනීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා.