විශාල ආහාර සැපයුම් ව්‍යාපාර මෙන් පාසැල් ආපන ශාලා බොහෝ විට පරිභෝජනයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් පිළියෙල කරන්නේ ඔවුන්ට අවශ්‍යතාවය හරියට කිව නොහැකි නිසාය. ඒ හේතුවෙන් ඉතිරි වූ ආහාර අපතේ යයි. එසේ වුවද නිවසේ කෑමට ප්‍රමාණවත් ආහාරයක් නොමැතිව සති අන්තයේ බඩගින්නේ සිටින සිසුන් බොහෝය. එක් එක්සත් ජනපද පාසැල් දිස්ත්‍රික්කයක් මෙයට විසඳුමක් සෙවීම සඳහා දේශීය ලාභ නොලබන ආයතනයක් සමග හවුල් විය. ඔවුන් සිසුන් සමග නිවසට යැවීම සඳහා ඉතිරි ආහාර ඇසුරුම් කළ අතර ආහාර නාස්තිය සහ කුසගින්න යන ගැටලු දෙකටම සමගාමීව විසඳුම් සෙවීමට කටයුතු කළහ.

බොහෝ අය ආහාර අපතේ යාම ගැන වැඩි සැළකිල්ලක් දැක්වූවත් මුදල් බහුලව තබා ගැනීම ගැටලුවක් ලෙස නොසළකති. නමුත් පාසැල් ව්‍යාපෘතිය පිටුපස ඇති මූලධර්මය පාවුල් කොරින්තිවරුන්ට ඔහුගේ ලිපියේ යෝජනා කර ඇති දෙයට සමාන වේ. මැසිඩෝනියාවේ සභාව දුෂ්කරතා අත් විඳින බව ඔහු දැන සිටි හෙයින් ඔහු ඉල්ලා සිටියේ කොරින්ති සභාවේ “වැඩිකම” මගින් “ඔවුන්ට අවශ්‍ය දේ සපයන” ලෙසටයි (2 කොරින්ති 8:14). අන් අය දුක් විඳින විට වෙන කිසිවෙකුට ඕනෑවට වඩා නොතිබෙන පිණිස සභාවන් අතර සමානත්වය ගෙන ඒම ඔහුගේ පරමාර්ථය විය.

පාවුල්ට අවශ්‍ය වූයේ කොරින්තියේ ඇදහිලිවතුන් ඔවුන්ගේ දීමෙන් දිළිඳු වීමට නොව අනාගතයේදී යම් අවස්ථාවක ඔවුන්ටත් එවැනිම උපකාර අවශ්‍ය විය හැකි බව හඳුනා ගෙන මැසිඩෝනියානුවන් සමග සංවේදී වීමට සහ ත්‍යාගශීිලී වීමටය. අන් අයට අවශ්‍යතාවයක් ඇති බව දකින විට අපට බෙදා ගැනීමට යමක් තිබේදැයි අපි සොයා බලමු. අපගේ දීම කෙතරම් විශාල හෝ කුඩා හෝ වුවත් එය කිසිදා අපතේ නොයනු ඇත.