ආදරණීය සහ පක්‍ෂපාතී සුනඛයෙක් වන බිලී 2020 දී අන්තර්ජාල තරුවක් බවට පත් විය. ඔහුගේ අයිතිකරු වන රසල් ඔහුගේ වළලුකර බිඳී තිබූ හෙයින් ඇවිදීමට කිහිලිකරු භාවිතා කරමින් සිටියේය. වැඩි කල් නොගොස් බල්ලාද තම අයිතිකරු සමග ඇවිදින විට නොන්ඩි ගසමින් ඇවිද්දේය. කණස්සල්ලට පත් රසල් බිලීව පශු වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර ඔහු කීවේ සුනඛයාට කිසිම වරදක් නැති බවයි. ඌ තනිවම සිටින විට නිදහසේ දිව ගියේය. ඌ තම අයිතිකරු සමග ඇවිදින විට බොරුවට කොරවූ බවක් පෙන්වීය. එය හඳුන්වන්නේ කෙනෙකුගේ වේදනාව සැබවින්ම හඳුනා ගැනීමට උත්සාහ කිරීමක් කියාය.

අපෝස්තළු පාවුල් රෝමයේ සභාවට දුන් උපදෙස්වල අමාරුකම් සහ දුකෙන් පෙළෙන අය සමග බැඳීමකින් සිටීම ප්‍රමූඛ ස්ථානයක් ගනියි. දස පනතේ අවසාන පනත් පහ ඔහු මෙසේ සාරාංශ කළේය : “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” (රෝම 13:9). අන් අය සමග ගමන් කිරීමේ වැදගත් කම 8 වෙනි පදයෙන්ද අපට දැකිය හැකිය. “එකිනෙකාට ප්‍රේම වීම මිස අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න”.

කර්තෘ ජෙනී ඇල්බර්ස් මෙසේ උපදෙස් දෙයි : “යමෙකු සිත් තැවුලට පත් වූ විට ඒවා නිවැරදි කරන්න උත්සාහ නොකරන්න (ඔබට එසේ කළ නොහැකියි). යමෙකු වේදනා විඳින විට ඔවුන්ගේ වේදනාව ඉවත් කිරීමට උත්සාහ නොකරන්න (ඔබට නොහැකිය). ඒ වෙනුවට වේදනාවෙන් ඔවුන් අසළ හැසිරෙමින් ඔවුන්ට ප්‍රේමය දක්වන්න (ඔබට මෙය හැකිය). මක්නිසාද සමහර විට මනුෂ්‍යයන්ට අවශ්‍ය වන්නේ ඔවුන් තනිවී නොසිටින බව දැන ගැනීමයි”.

මක්නිසාද අපගේ ගැළවුම්කරු වන යේසුස්වහන්සේ අපගේ සියලු වේදනාවන් සහිතව අප සමග ගමන් කරන බැවින් අන් අය සමග ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අපි දනිමු.