මෙම ග්‍රීෂ්ම සෘතුවේ දෙවතාවක්ම මම විෂ සහිත පැලෑටි වලට ගොදුරු වුණෙමි. මෙය සිදුවූ අවස්ථා දෙකේදීම මම අපේ මිදුලේ අනවශ්‍ය ශාක වර්ධනය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියෙමි. ඒ අවස්ථා දෙකේදීම ඒ අසළ සැඟවී සිටින නපුරු කොළ තුනේ සතුරාව මම දුටුවෙමි. එයින් බලපෑමකින් තොරව මට එයට සමීප විය හැකි යයි මම සිතුවෙමි. මම වැරදි බව ඉක්මණින්ම මට තේරුම් ගියේය. මගේ කුඩා හරිත සතුරාට ළං වෙනවා වෙනුවට මට අනෙක් පැත්තට දුවන්න තිබුණි.

පරණ ගිවිසුමේ යෝසෙප්ගේ කථාවේ විෂ සහිත පැලෑටි වලට වඩා නරක දෙයකින් එනම් පාපයෙන් “පලා යන්න” යන මූලධර්මය ආදර්ශයට ගෙන ඇති බව අපට පෙනේ. ඔහු ඊජීප්තු නිලධාරියෙක් වූ පොතිඵර්ගේ නිවසේ ජීවත් වන විට පොතිඵර්ගේ බිරිඳ ඔහුව පොළඹවා ගැනීමට උත්සාහ දරද්දී යෝසෙප් ළංවීමට උත්සාහ නොකළේය. ඒ වෙනුවට ඔහු දිව ගියේය.

ඇය ඔහුට බොරු චෝදනා කර ඔහුව සිරගත කළද එම කථාංගය පුරාවටම යෝසෙප් නිර්මලව සිටියේය. එසේම උත්පත්ති 39:21 හි අප දකින පරිදි “ස්වාමින්වහන්සේ ඔහු සමග සිටි සේක”.

දෙවියන්වහන්සේගෙන් අපව ඈත් කළ හැකි ක්‍රියා සහ තත්ත්වයන්ගෙන් පලා යාමට උන්වහන්සේට අපට උපකාර කළ හැකිය. එනම් පාපය ළංවන විට වෙනත් මාර්ගයකට දිව යාමට අපට මග පෙන්වීමෙනි. 2 තිමෝති 2:22 හි පාවුල් ලියන්නේ “නපුරු ආශාවන්ගෙන් පලා යන්න” කියාය. එසේම 1 කොරින්ති 6:18 හි ඔහු පවසන්නේ “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියාය.

දෙවියන්වහන්සේගේ ශක්තියෙන් අපට හානියක් විය හැකි දේවලින් පලා යෑමට අපි තෝරා ගනිමු.