ඇපලෝ 11 හි “ඊගල්” නැමැති චන්ද්‍රිකා යානය 1969 ජූලි මස 20 වන දින සඳට ගොඩ බැස්සවූ විට අභ්‍යාවකාශ සංචාරකියන් සඳ මතු පිටට යාමට පෙර ඔවුන්ගේ පියාසැරි වෙහෙසින් විවේකයක් ලබා ගැනීමට කාලය ගත කළහ. දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට හැකි වන පරිදි පාන් සහ වයින් ගෙන ඒමට ගගනගාමී බස් ඕල්ඩ්‍රින්ට අවසර ලැබී තිබුණි. දේව වචනය කියවීමෙන් පසු ඔහු සඳ මතුපිට ප්‍රථම ආහාරයේ රස බැලුවේය. පසුව ඔහු මෙසේ ලිවීය : “අපේ දේවස්ථානයෙන් මට දුන් කුසලානයට මම වයින් වත් කළෙමි. සඳෙහි හයෙන් එකක ගුරුත්වාකර්ෂණයෙන් බඳුනට දැමූ වයින් බඳුනේ පැත්තකට ඉතා සෙමෙන් හා අලංකාර ලෙස වැක් කෙරුණි”. ඕල්ඩ්‍රින් දිව්‍ය සහභාගීකම භුක්ති විඳිද්දී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ පූජාවද උන්වහන්සේගේ දෙවන පැමිණිමේ සහතිකය පිළිබඳ ඔහුගේ විශ්වාසයද ඔහුගේ ක්‍රියාවෙන් ප්‍රකාශ කෙරුණි.

අපෝස්තලු පාවුල් අපව දිරිමත් කරන්නේ “උන්වහන්සේව පාවා දුන් රාත්‍රියේ” යේසුස්වහන්සේ තම ගෝලයන් සමග රාත්‍රී භෝජනය ලබා ගත් ආකාරය සිහිපත් කරන ලෙසටයි (1 කොරින්ති 11:23). ඉක්මණින් පූජා කිරීමට නියමිත උන්වහන්සේගේ ශරීරය ක්‍රිස්තුස්වහන්සේ රොටී වලට සසඳන සේක (24 පදය). කුරුසිය මත වැගිරුණු උන්වහන්සේගේ රුධිරය තුළින් අපගේ සමාව සහ ගැළවීම සුරක්‍ෂිත කළ “නව ගිවිසුමේ” සංකේතයක් ලෙසට උන්වහන්සේ මිදි යුෂ ප්‍රකාශ කළ සේක (25 පදය). අපි කොයි මොහොතේ හෝ කොතැනක හෝ දිව්‍ය සහභාගීකමට සහභාගී වූ විට අපි ප්‍රකාශ කරන්නේ යේසුස්වහන්සේගේ පූජාවේ යථාර්ථය සහ උන්වහන්සේගේ පොරොන්දු වූ දෙවන පැමිණිම ගැන අපගේ බලාපොරොත්තුව කෙරෙහි අපගේ විශ්වාසයයි (26 පදය).

අපි කොතැනක සිටියත් උත්ථාන වූ සහ නැවත පැමිණෙන ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුතුව අපගේ ඇදහිල්ල සැමරිය හැකිය.