සිල්ලර වෙළඳ සැළක ස්වයංක්‍රීය යන්ත්‍රයෙන් මුදල් ගෙවීමේ ස්ථානයක පාරිභෝගිකයෙකු ඇගේ ගනුදෙනුව අවසන් කළ පසු මම එම ස්ථානයට ගොස් මගේ භාණ්ඩ ස්කෑන් යන්ත්‍රය වෙතට ගෙන ගියෙමි. අනපේක්‍ෂිත ලෙස කෝපයට පත් අයෙක් මා වෙතට පැමිණියාය. ඇය ඇත්ත වශයෙන්ම පිටවීම සඳහා පෝලිමේ ඊළඟට සිටි තැනැත්තිය බව දැකීමට මම අසමත් වූයෙමි. මගේ වරද හඳුනාගත් මම අවංකවම “මට සමාවෙන්න” යැයි කීවෙමි. (මෙම වචනවලට පමණක් සීමා නොවූවත්) “නැහැ ඔබ කණගාටු වන්නේ නැහැ” කියා ඇය පිළිතුරු දුන්නාය.

කවදා හෝ ඔබට වැරදුන අවස්ථාවකදී ඔබ එම වැරැද්ද පිළිගෙන එය නිවැරදි කිරීමට උත්සාහ කළත් එය ප්‍රතික්‍ෂේප වූ අවස්ථාවකට මුහුණ දී තිබේද? වෙන කෙනෙකු විසින් අපව වරදවා වටහා ගැනීම හෝ වැරදි ලෙස විනිශ්චය කිරීම හෝ අපට යහපත් හැඟීමක් ගෙන දෙන්නේ නැත. අප රිදවන හෝ අපට රිදවන අය අපට සමීප වූවන් හෝ වන්නේ නම් එය වඩාත් වේදනාකාරී වන්නේය. ඔවුන්ට අපගේ හදවත පෙනෙනවා නම් කෙතරම් හොඳද කියා අපට සිතෙනු ඇත.

යෙසායා 11:1-5 හි අනාගතවක්තෘවරයා එළි දක්වන්නේ පරිපූර්ණ විනිශ්චය සඳහා දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද ප්‍රඥාවෙන් යුත් පාලකයෙක්ගේ ඡායාරූපයකි. “උන්වහන්සේ තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේවත් තමන්ගේ කණට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේවත් නැතුව ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් විනිශ්චය කරන සේක” (3-4 පද). යේසුස් වහන්සේගේ ජීවිතය සහ සේවය තුළ මෙය ඉටු විය. අපගේ පව්කාරකම සහ දුර්වලකම තුළ අප එය සෑම විටම නිවැරදි කර නොගත්තත් සියල්ල දකින සියල්ල දන්නා ස්වර්ගයේ දෙවියන්වහන්සේ අපව සම්පූර්ණයෙන්ම දන්නා අතර අපව නිවැරදිව විනිශ්චය කරන බව අපට සිතට ගත හැකිය.