2019 දී  හැත්තෑ පස් වන ඩී-ඬේ (D-Day) සැමරුමේදී බටහිර යුරෝපය මුදා ගැනීම සඳහා ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණයට සහභාගී වූ 156,000 කට අධික භට පිරිස්වලට ගෞරව කරන ලදී. 1944 ජූනි 6 වන දින ගුවන් විදුලිය හරහා විකාශය වූ එතුමාගේ යාච්ඤාවේදී ඇමරිකාවේ ජනාධිපති රූස්ට්වෙල් දෙවියන්වහන්සේගෙන් ආරක්‍ෂාව ඉල්ලා යාච්ඤා කළේ “ඔවුන් සටන් කරන්නේ රටක් යටත් කර ගැනීමේ ආශාව සඳහා නොවේ. ඔවුන් සටන් කරන්නේ මෙම යටත් කිරීම අවසන් කිරීමටයි. ඔවුන් සටන් කරන්නේ විමුක්තිය සඳහාය” යනුවෙනි.

නපුර වැළැක්වීම සහ ජීවිතයන් නිදහස් කිරීම සඳහා තමාගේම ජීවිතයට හානියක් කර ගැනීමට ඇති කැමැත්ත යේසුස්වහන්සේගේ වචන මතකයට නංවන්නේය : “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15:13). මෙම වචන පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ තම අනුගාමිකයන්ට එකිනෙකාට ප්‍රේම කිරීම ගැන උගන්වමින් සිටියදීය. නමුත් උන්වහන්සේට අවශ්‍ය වූයේ මෙවැනි ප්‍රේමයක මිළය සහ ගැඹුර ඔවුන් අවබෝධ කර ගැනීමයි. යමෙකු තම ජීවිතය කැමැත්තෙන්ම වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් කැප කරන විට මෙය ප්‍රේමයට කදිම නිදසුනක් වන්නේය. අන්‍යයන්ට ත්‍යාගශීලීව ප්‍රේම කිරීමට යේසුස්වහන්සේ කරන ලද කැඳවීම “එකිනෙකාට ප්‍රේම කරන්න” යන (17 පදය) උන්වහන්සේගේ ආඥාවේ පදනම වන්නේය.

පවුලේ වියපත් සාමාජිකයෙකුගේ අවශ්‍යතා සඳහා කාලය ලබා දීමෙන් සමහර විට අපට පරිත්‍යාගශීලී ප්‍රේමය පෙන්විය හැකිය. පාසැලේ ආතතියෙන් පිරුණු සතියකදී සහෝදර සහෝදරියන්ගේ වැඩ කටයුතු වලට මුල් තැන දිය හැකිය. අපගේ සහකරු හෝ සහකාරියට හෝ නිදා ගැනීමට ඉඩ දීම සඳහා රෝගී දරුවෙක් සමග අපට අමතර කාලයක් ගත කළ හැකිය. අපි අන් අයට පරිත්‍යාගශීලීව ප්‍රේම කරන විට අපි ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනය පෙන්නුම් කරමු.