1373 දී නෝර්විච්හී ජූලියන් වයස අවුරුදු තිහක් වූ විට රෝගාතුර වී මිය යාමට ආසන්නව සිටියාය. ඇයගේ දේව සේවකයා ඇය සමග යාච්ඤා කරන විට ඇය යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම ගැන සළකා බැලූ දර්ශන ගණනාවක් අත් වින්දාය. ආශ්චර්යමත් ලෙස ඇගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වූ පසු ඇය ඊළඟ වසර විස්සක් දේවස්ථානය අසල තිබූ කාමරයක හුදකලාව ගත කළ අතර යාච්ඤා කරමින් සහ ඈ විසින් අත් දුටු දර්ශන ගැන මෙනෙහි කරමින් ගත කළාය. “ප්‍රේමය උන්වහන්සේගේ අරුත” බව ඇය අවසානයේ නිගමනය කළාය. එනම් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ උත්තරීතර ප්‍රකාශනය බවයි.

ජූලියන්ගේ එළිදරව් කිරීම් ප්‍රසිද්ධය. නමුත් මිනිසුන් බොහෝ විට නොසළකා හරින්නේ දෙවියන්වහන්සේ ඇයට හෙළි කළ දේ සඳහා ඇය යාච්ඤාවෙන් වැය කළ කාලය සහ ශ්‍රමයයි. එම දශක දෙක තුළ උන්වහන්සේගේ අභිමුඛයේ අත්දැකීමෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිළි ලෙස දකින්න ඇය උන්වහන්සේගේ ප්‍රඥාව සහ උපකාරය ඉල්ලා සිටියාය.

උන්වහන්සේ ජූලියන් සමග කළාක් මෙන් දෙවියන්වහන්සේ කාරුණිකව තමන්වහන්සේගේ සෙනගට තමන්වහන්සේව එළිදරව් කරන සේක. ඒ බයිබලයේ වචන හරහාද උන්වහන්සේගේ නිසල කුඩා කටහඬ හරහාද ගීතිකාවක වාක්‍යයක් හරහාද එසේත් නැත්නම් උන්වහන්සේගේ අභිමුඛය මගින්ද උන්වහන්සේ එසේ කරන සේක. මෙය සිදු වූ විට අපට උන්වහන්සේගේ ප්‍රඥාව සහ උපකාරය ලබා ගත හැකිය. ප්‍රඥාව යනු සාලමොන් රජු තම පුත්‍රයාට ලුහු බඳින ලෙස දන්වමින් ප්‍රඥාවට ඇහුම්කන් දී ඥානයට තම සිත යොමු කරන ලෙස (හිතෝපදේශ 2:2) පැවසූ දෙයයි. එවිට ඔහු “දෙවියන්වහන්සේ හැඳින ගැනීමටද පැමිණෙන්නේය” (5 පදය).

අපට අවබෝධය ලබා දෙන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක. උන්වහන්සේගේ චරිතය සහ ක්‍රම පිළිබඳව ගැඹුරු දැනුමක් අප තුළ වර්ධනය වන විට අපට උන්වහන්සේව වඩාත් ගෞරව කිරීමටත් අවබෝධ කර ගැනීමටත් හැකි වනු ඇත.